බලා එන්ට මහ පෙරහැර සිදාදියට මං ගිය කළ
පෙරලා එන්නට නොහැකිව පාර වැරදුනී...
සෙයිලමේ බඹර පිරිවර උදව්වට ඇවිත් කළ විණ
කියන්නට ගියේ දෙවොලට ගයා යාදීනී...
ගොසින් මව්පියන් සමඟින් වැටී අඩඳිණින් බැතියෙන්
වඩින කළ දෙවොල හිස මත කැඞී පෙරළුණි...
දෙව් වරම් පතා ලසොවින තිරෙන් මුවාවට ගිය කළ
අනේ දෙවිඳු පාමුල ඉන සළුව ගිලිහුණී....
පිලේ කඩපිලේ අගුවල දොළේ තොටුපලේ බැඳිවල
පැලේ වැඩපලේ ඇවිලේ රාග ලැව් ගිනී...
කඩා තන මඩල සරොසින ගසා ගිනි ගැනුණු පුරවර
දවාළනු මෙපුර සැනෙකින සිද්ධ පත්තිනී..
ලාංකේය ගැමි කාන්තාවකට මුහුණ දීමට සිදුව ඇති ලිංගික හිංසනය සහ නීතිය ඉදිරියේ ඇය කෙතරම් අසරණ වනවා ද යන්න සංකේතාත්මක ව ඉදිරිපත් කරන යථාර්තවාදී විග‍්‍රහයක් ලෙස නන්දා මාලනිය විසින් ගායන ‘බලා එන්ට මහ පෙරහැර’ ගීතය හඳුන්වා දීමට පුළුවන.
‘‘බලා එන්ට මහ පෙරහැර සිදාදියට මං ගිය කළ
පෙරලා එන්නට නොහැකිව පාර වැරදුනී
සෙයිලමේ බඹර පිරිවර උදව්වට ඇවිත් කළ විණ
කියන්නට ගියේ දෙවොලට ගයා යාදීනී’’
පෙරහැර යනු සියලූ සංස්කෘතික අංගයන්ගෙන් පරිපූර්ණ කි‍්‍රයාවලියකි. බොහෝවිට එය පවතින්නේ ජනාශි‍්‍රතව ය. වර්ණවත් ය. නර්තන සහ ගායනයන්ගෙන් පිරී ඇති පෙරහැර නරඹන්නන්ගේ සිත්හි ඇති කරනුයේ විචිත‍්‍රත්වයකි. ගීතයේ එන ග‍්‍රාමීය දුප්පත් යුවතිය නගරයට එන්නේ රැකියාවක් බලාපොරොත්තුවෙන් විය හැකි ය. සිය දෙමාපියන්ට බරක් නොවී තමා විසින් ම යම් මුදලක් උපයාගෙන එම මුදලෙන් සිය දෙමාපියන්ද පෝෂණය කිරීමටත් අනාගතය උදෙසා යම් මුදලක් ඉතිරිකර ගැනීමත් යනාදී විචිත‍්‍රවත් පැතුම් ගොන්නක් සමගින් ඇය නගරයට පැමිණේ.
මෙලෙස සිය පැතුම් සමුදාය ඉටු කර ගැනීමේ අරමුණින් ජනාකීර්ණ නගරයකට එන කතා නායිකාව ගීතයේ සංකේතාත්මක ව හඳුන්වන්නේ ‘‘බලා එන්ට මහ පෙරහැර සිදාදියට මං ගිය කළ’’ ලෙසට ය.
බලාපොරොත්තු දහසක් සමග ඇය නගරයට ගිය ද ඇයට සිය බලාපොරොත්තු ඉටුකරගන්න නොහැකි වන්නා සේම ඇයට මුහුණපාන්නට සිදුවන්නේ සිහිනෙන්වත් නොසිතූ දෙයකට ය.
කාත් කවුරුවත් නොහඳුනන ප‍්‍රදේශයක තනිවන ඇය වෙතට මිතුරු වෙසින් ලගා වන්නේ රකුසන් ය.
නගරයේ මිනිසුන්, ඔවුන්ගේ හැසිරීම්, සිතුම් පැතුම් ගැමි සමාජයක වෙසෙන්නන්ගේ මෙන් සුමට නොවන්නේ ය. පවිත‍්‍ර නොවන්නේ ය. නාගරික ව එවැන්නන් සිටීනම් එ් ඉතාමත් අල්ප වශයෙනි. උපන් දා සිට ගැමි දිවියකට හුරු වූ මැයට නගරය නුහුරු ය. ඇයට මිත‍්‍රත්වය පාමින් ඇයට මිතුරු වෙසින් ලගා වන රකුසන්ගේ ලිංගික ගොදුරක් බවට ඇය හසුවන්නේ මේ නිසාවෙණි. රචිකාවිය ඔවුන්ව හඳුන්වා දී ඇත්තේ ‘‘බඹර පිරිවර’’ ලෙසට ය. නගරයේ තනිවන තරුණියට උදව් කිරීමට යැයි කියා පැමිණෙන මෙම සළෙලු බඹරුන් ඇයගෙන් අයුතු ප‍්‍රයෝජන ලබාගනී.
මිනිසා යනු මනසින් උසස් යන්න බව අරුත් ගැනුණ ද ඇතැම් මිනිසුන්ගේ මෙවැනි කි‍්‍රයා මත ඔවුන් නමට පමණක් මිනිසුන් වන නොමිනිසුන් සමාජයේ වෙසෙන බව පසක් කර දෙයි.
නොමිනිසුන් අතරේ අසරණවන ඇය පිළිසරනක් පතන්නේ නීතියේ ය. කිවිදිය එය සංකේවත් කරනුයේ ‘‘දෙවොලට ගොස් යැදීම’’ යනුවෙනි. දෙවොල යනු පොලීසිය යි. සමාජ සාධාරණය ලබා දෙන ස්ථානයක් ලෙස පොලිසිය සැළකෙන මුත් ඉන් සමාජයට සැබැවින් ම සාධාරණය ඉටු වන්නේ ද යන්න නැවතත් සිතිය යුතු ය. මුදල, බලය රජයන විට සාධාරණය ද යටපත් වේ.
‘‘ගොසින් මව්පියන් සම`ගින් වැටී අඩදණින් බැතියෙන්
ව`දින කළ දෙවොල හිස මත කඩා පෙරළුණි...’’
තම දුක්ගිනි පැවසීමටත් ඊට සහනයක්, පිහිටක් පතන්නට දෙවොලට යන මිනිසුන් දේවියන් හමුවේ දණින් වැටී කන්නලව් කරයි. එ් දෙවියන් කෙරෙහි පවතින භක්තියෙනි.
කිවිදිය මෙහිදී නාගරික සමාජයේ සළෙලූන්ට ලිංගික ගොදුරක් වූ කාන්තාව සිය දෙමාපියන් සමගින් පොලීසියට ගොස් ඔවුන් ඉදිරියේ දණින් වැටී සරණ පතන බව දක්වයි. එහෙත් මොවුන් පොලීසිය අභිමුව දණින් වැටෙනුයේ භක්තිය නිසා නොව මුදල, බලය නොතකමින් ඔවුනට සාධාරණය ඉටු කරන ලෙස බැගෑපත් වෙමින් ය. තමාට සාධාරණයක් ලබා ගැනීමට භාවිත කිරීමට තරම් සමාජයේ පීඩිත පාන්තිකයන් ල`ග මුදල්, බලය සහ සමාජ බලපුළුවම්කාරකම් නොමැත. මෙවැනි සිදුවීම්වල දී දුප්පතාට බොහෝ විට උරුමවන්නේ සාධාරණයකට වඩා මුදලේ බලයෙන් සහ සමාජ බලපුළුවම්කාරකම්වලින් පාලනය වන්නා වූ අසාධාරණය යි.
තමා අසරණ වූ මොහොතේ තම පිහිටට සිටින දෙවියන් ලෙස සළකමින් මැය නීතිය හමුවට ගිය ද ඇය එතනදී තවත් අසරණ වේ. පොලිස් නිලධාරීන් ඇයට කරන අවමාන අපහාස පිළිබ`ද යථාර්තවාදී විග‍්‍රහයක් ‘‘වදින කළ දෙවල හිස මත කඩා පෙරළුණි’’ යන පද පෙළෙන් සංකේතාත්මක කරයි.
කිවිදිය මෙහිදී උළුප්පමින් දක්වන්නට උත්සහ ගෙන ඇත්තේ මනකල්පිතයක් නො ව මෙරටෙහි මතුපිටින් පෙනෙන මුත් කිසිවකුත් හඩ නැගීමට මැලිවන සැබෑ යථාර්ථය යි.
‘‘දෙව් වරම් පතා ලසොවින තිරෙන් මුවාවට ගිය කළ
අනේ දෙවිඳු පාමුල ඉන සළුව ගිලිහුනී’’
පොලීසිය හමුවේ තමාට සාධාරණයක් ඉටු නොවන කළ ඇය ඊළගට කරනුයේ අධිකරණය හමුවට තම දුක් ගැනවිල්ල ඉදිරිපත් කිරීම ය. ‘‘දෙව් වරම් පතා’’ යනුවෙන් දක්වා ඇත්තේ එය ම නො වේ ද? එහෙත් ඇයට අධිකරණයෙන් ද සාධාරණයක් සිදු නොවන අතර එම ස්ථානයෙන් ඇය තවත් අසරණ වේ.
ලිංගික හිංසනයට අතවරයට ලක්වන කාන්තාවන් තමාට සාධාරණයක් පතා නීතිය හමුවට ගිය ද වැඩිවනක්ම සිදුවන්නේ සාධාරණයකට වඩා ඔවුන් තවත් ලිංගික හිංසනයට පීඩනයට ලක් වීම පමණකි. අසරණ වන කාන්තාවකගෙන් අයුතු ප‍්‍රයෝජන ගැනීමට බලා සිටින සල්ලාළයන්ගේ තරා තිරමක් නැත. කාසි සොයා නගරයට එන ඇය ව මිතුරු වෙසින් ආ පිරිමින් අතින් දූෂණයට ලක් වන්නේත් සරණ පතා පොලීසියට සහ අධිකරණය හමුවට ගිය විට සමාජයේ උසස් වැදගත් යැයි සැළකෙන මහත්වරුන් අතිනුත් ඇය ලිංගික හිංසනයට ලක් වන්නේ මෙම නිසාවෙනි.
අධිකරණයේ සිටින සමාජ තත්වය අධ්‍යාපනය අතින් ඉහළස්ථානය නියොජනය කරන මහත්වරුන් අතින් ඇය කෙළෙසෙන බව කිවි`දිය දක්වනුයේ ‘‘දෙවිඳු පාමුල ඉන සළුව ගිලිහුණී’’ ලෙසිනි.
‘‘පිලේ කඩපිලේ අගුවල දොළේ තොටුපලේ බැ`දිවල
පැලේ වැඩපලේ ඇවිලී රාග ලැව් ගිනී’’
සමාජයේ සෑම අස්සක් මුල්ලක් නෑරම වෙනසකින් තොරව රාගයෙන් ගිනිගෙන ඇත. ‘‘පිළේ කඩපිළේ අගුවල දොළේ තොටුපළේ බැදිවල පැළේ වැඩපළේ’’ ලෙස දක්වමින් කිවිදිය මතු කරන්නේ එය යි.
ඇය රාග ගින්න හදුන්වන්නේ ‘‘ලැව් ගින්නක්’’ වශයෙනි. ලැව් ගින්නක් හටගන්නේ දිගු කලක් අධික උණුසුමින් පීඩිත ව ඇති වියලි ගස්කොළන් මත සැළසුමකින් තොර ව ස්වභාවික ව ම ය. රාග ගින්න ද තමන් තුළින් උපදින ධර්මතාවක් ය යන්න එම පද පෙළින් මොනවට පැහැදිලි ය.
සමාජයේ ද රාගික ආශාවන්ගෙන් වියරු වැටී සිටින්නන් බිළිදියක්, දියණියක්, තරුණියක්, මැහැල්ලක් යන වෙනසකින් තොර ව ඔවුන්ගේ ආශාවන් සංතර්පණය කරගැනීමට පෙළඹෙන්නේ කිසිදු චිත්ත පාලනයකින් තොරව ය.
පිළිසරණක් පැතූ සියල්ලන්ගෙන් ම ඇයට නිසි පිළිසරණක් නොලැබෙන අතර ඉන් ඇය සමාජයට වෛර කරන්නට පටන්ගනී.
‘‘කඩා තන මඩල සරොසින දවා ගිනි ගැනුණු පුරවර
දවාළනු මෙපුර සැනෙකින සිද්ධ පත්තිනී’’
සිද්ධ පත්තිනී ලෙස රචිකාවිය දක්වා ඇත්තේ නීතියේ දෙව්දුව විය නොහැකි ද? සිය පතිවත දේවත්වයෙන් රැුකගත් කන්නගීට එකී හේතුව නිසා ම පතිවෘතා බල මහිමයක් උරුම වේ. නොකළ වරදකට මරුමුව යන සිය සැමියාට නැවත ජීවිතය ලබා ගැනීමට ඇයට හැකි වන්නේ ඇගේ පතිවෘතා බල මහිමය නිසාවෙනි.
තමා වෙසෙන සමාජයෙන් සාධාරණයක් නොලබන ඇය අවසන පත්තිනි මෑණියට කන්නලව් කරනුයේ සමාජය පිළිබ`ද ඇති වූ වෛරයත් සමගිනි. පවතින සමාජ ක‍්‍රමය වෙනස් කිරීමට නීතියටවත් නොහැකි කළ තමන් අදහන දෙවිදේවතාවන්ට කියනවා විනා වෙන අන් සරණක් ඇයට නැත.
එසේ ම ඇය පත්තිනි මෑණියන්ට කන්නලව් කරමින් සමාජයේ පවතින කාන්තාවන් පීඩාවට පත් කරන මෙවැනි රාගික සිතිවිලි විනාශ කිරීමක් ද ඇය පත්තිනි මෑණියන්ගෙන් බලාපොරොත්තු වූවා විය හැකිය.
‘‘කඩා තන මඩල සරොසින දවා ගිනි ගැනුණු පුරවර දවාළනු මෙපුර සැනෙකිණ’’ යන්නෙන් ඇය තුළ සමස්ථ සමාජය කෙරෙහි ම පවතින කෝපය ප‍්‍රබල ව විද්‍යාමාන වේ.
කාන්තාවකගේ වේදනාව පීඩාකාරීබව වඩාත් මැනවින් වැටහෙනුයේ තවත් කාන්තාවකට මිස අන් කවරෙකුට ද? සුභර්ශනී ධර්මරත්න කිවිදිය විසින් සමාජය තුළ අවස්ථා කිහිපයකදීම ලිංගික හිංසනයට ලක් වන තරුණියකගේ සිතුවිලි ගීතයකින් නිරූපණය කර ඇති ආකාරය අගය කළ හැකිය. එකී අර්තය තවත් තීව‍්‍ර කරලීමට ගීතයේ සංගීතය නිර්මාණය කළ එම්. ආර් චූලසිංහයන් ගෙන ඇති උත්සහය සාර්ථක ය. ගීතය ආරම්භයේ සිට අවසානය දක්වා ම යොදාගෙන තිබෙන ‘පෙරහැරක දී ඇසෙන බෙර නාදය’ මීට නිදසුනකි.
එසේ ම කිවිදිය, සමාජය විසින් ප‍්‍රශ්න කිරීමට නොඉදිරිපත්වන සහ නොදන්නා සේ සිටින මෙවැනි සමාජ අසාධාරණයක් පිළිබද ව සංයමයකින් යුතුව ගීතය මාධ්‍යය කොට ගෙන විරුද්ධත්වය දක්වන ආකාරය ද අගය කළ යුතුය.