Monday, May 29, 2017

ජන සංගීතයෙන් පෝෂිත නූතන ගීත සාහිත්‍යය

 

                ජන කවි, ජන ගායනා, ජන නාදමාලා යනාදිය සාම්ප‍්‍රදායික ජන ජීවිතය ප‍්‍රතිණිර්මාණය කරන කැඩපතක් බඳු ය. උසස් මිනිස් චින්තනයක් නොමැති කාලයක මේවා බිහි වුවත් මෙකී සාම්ප‍්‍රදායික අංග තුළ ඉතා විශිෂ්ට සෞන්දාර්යාත්මක සේ ම අර්ථාන්විත බවක් පවතී. නූතන ගීත සාහිත්‍යය පෝෂණයට පවා අතීත ජන සංගීතය යොදා ගැනීම හරහා ද එය තහවුරු වේ.
පුරාණෝක්ති ඇසුරින් ජන කවි නිර්මාණය වී තිබේ. දස්කොන් ප‍්‍රමිලා ජන කතාව ඇසුරෙන් නිර්මාණය වූ ජනකවි පාදක කරගෙන ද නූතනයේ දී සරල ගී නිර්මාණය වි ඇත.

ජන කවිය - සක්මන් කරන මලූවේ දී බැඳි          හාද
                  සිත්සන්තොසින් දුන් මුව මී           බීවාද
                  ඉක්මන් ගමන් හිමියනි නුඹ        යනවාද
                  දස්කොන් මගෙ නමට නුඹ දිවි  දෙනවාද

                   ඉහත ජන කවිය ඇසුරෙන් දස්කොන් ප‍්‍රමිලා ජනප‍්‍රවාදය ඉස්මතු කෙරෙන සරල ගීත දෙකක් නූතන ගීත සාහිත්‍යය තුළ දක්නට ලැබේ. එනම් අමරදේව මහතා ගයන “දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින් නොයෙනා ගමනකි යන්නේ” යන ගීතය සහ කරුණාරත්න දිවුල්ගනේ මහතා විසින් ගයන “සක්මන් කරන මලූව පාලූයි දේවී” යන ගීතය යි. මෙම ගීත දෙකෙහිම මුල් කොටස ගත් විට දී ඉහත ජන කවියේ අඩංගු වචන එහා මෙහා කර භාවිතකර ඇති බවක් පෙන්නුම් කරයි. අතීත සිදුවීම් ආශි‍්‍රතව පැවති ජන කවි අනුසාරයෙන් නූතන ගීත නිර්මාණය වීම හරහා එකී ජන ගීතය සේ ම අතීත සිදුවීම ද සමාජය තුළ ජනප‍්‍රිය වන බව කිව යුතු ය.
                     නැළවිලි ගීත ද ජන ගායනා අතර දැකිය හැකි විශේෂිත ගීත විශේෂයක් වේ. ඒ ඇසුරෙන් ද නූතන ගීත නිර්මාණය වී ඇත. අමරදේවයන් විසින් ගායනා කරන “මුනි සිරිපා සිඹිමින්නේ”  ගීතය දරුවෙකු නැළවීමට යොදාගන්නා ගීතයකි. එනම් අතීතයේ දරුවන් නැළවීමට යොදාගත් දරු නැළවිළි සංකල්පය මීට යොදාගෙන ඇත. නැළවිලි ගී තනුව අනුකරණය කර නැතත් දරුවකු නිදි කරවිය හැකි මිහිරි තනුවක් එම ගීතයේ මුල් කොටසට යොදා ගෙන ඇත.
                   එසේ ම ඇතැම් මව් ගුණ ගී නිර්මාණයට නැලවිළි ගී තනුව භාවිත කර තිබේ. වික්ටර් රත්නායක මහතා විසින් ගයන “ආදරයේ උල්පත වූ අම්මා” ගීතයේ
           
             ”සඳ දිය කොට කිරි වතුරෙන්
              ඒ දියරෙන් මුව දෝවා
              දිව මතුරක් වන් නැළවිලි ගීයෙන්
              මතකයි මා නැළවුවා”
                        යන කොටස නිර්මාණය කර ඇත්තේ නැළවිලි ගී තනුවට අනුව ය. සාම්ප‍්‍රදායික ජන ගීත ආභාසය එලෙසින් ම යොදාගෙන ඇති නූතන ගීතයක් ලෙස වසන්ත කුමාර කොබවක මහකා විසින් රචනා කරන ලද “පලංචියේ ලී ඉරුවේ අපි එකට” ගීතය නම් කළ හැකි ය. සාම්ප‍්‍රදායික ජන ගීතවල තාලය කොටස් දෙකකට බෙදෙ යි. එනම්
       

        •   ආඝාතාත්මක කවි
        •   අනාඝාතාත්මක කවි
               ඉහත ගීතයේ තනු නිර්මාණය කිරිමේ දී මෙකී ක‍්‍රම දෙකට ම අනුව නිර්මාණයකර ඇත. ගීතයේ පළමු පද පේළි හතර ආඝාතාත්මක (තාල තැබිය හැකි) ලෙස නිර්මාණය වී තිබේ. “පෙම් දම් නිසා මිතුදම් බිඳ දමන්න ද - හොඳ හිත නුඹෙ තරම් කොතනින් ලබන්නද” යන කොටස අනාඝාතාත්මක (තාල තැබිය නොහැකි) ව නිර්මාණය කිරීමට රෝහණ වීරසිංහ මහතා වගබලාගෙන ඇත. එමෙන් ම එම කොටසේ තනු සමුද්‍රාඝෝෂ විරිත ඇසුරින් නිර්මාණය කර ඇති නිසා රසිකයා තුළ එම පද පෙළෙහි අරුත තවත් තීව‍්‍ර වනු පෙනෙයි.  
                ආචාර්ය අජන්තා රනසිංහ පද රචනය කළ “අක්කා නගෝලාගේ බොළඳ සිනා” ගීතය ගැමි ශ‍්‍රැතියට ම ගැයීට පද නිර්මාණය කර ඇත. මෙහි සංගීතය නිර්මාණය ශාන්තිකර්ම ගී ඇසුරු කරගෙන දයා රත්නසේකර මහතා විසින් සිදු කර ඇත. ජන ගීත වලට ආවේණික ලක්‍ෂණයක් වන්නේ පහළ ස්වරයක සිට එකවර ඉහළ ස්වරයකට ගොස් නැවත අවරෝහණ ස්වරූපයෙන් පහළ ස්වරයකට ඒමේ ස්වභාවය යි. මෙකී ස්වභාවය ඉහත ගීතයේ ද දැකගත හැකිය. සාම්ප‍්‍රදායික ජන සංගීතයේ දී භාවිත වන රබාන, බෙරය, ගෙජ්ජි වැනි සංගීත භාණ්ඩ ද ගීතය සඳහා යොදාගෙන ඇත.
               රජවරුන්ගේ ගුණ වර්ණනාවන් ගීතයෙන් ගැයීම ප‍්‍රශස්ති නම් වේ. මෑතක දී හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් සහේලි විසින් ගැයූ  “ආයුබොවේවා” ගීතය තුළ ප‍්‍රශස්ති ගී ලක්‍ෂණ පෙන්නුම් කරයි.
              නන්දා මාලනී මහත්මිය විසින් ගයන “සැඳෑ කලූවර කුර ගගාවිත්” ගීතය කුවේණි අස්න ගැයෙන තනුවට අනුව නිර්මාණය කර තිබේ. කුවේණි අස්නෙහි ඇත්තේ කුවේණිගේ වැළපුමයි. එසේ ම ඉහත ගීතයේ පද මාලාව හරහා පැවසෙනුයේ යුවතියකගේ විරහවකි. ශෝකයකි. එබැවින් එම ගීතයට කුවේණි අස්නෙහි පද මාලාව යෙදීමෙන් ගීතයේ අරුත තවත් ඉස්මතු වී පෙනෙ යි.

1 comment:

Unknown said...

Nice one.. I think you should publish your other writings too..