Monday, June 5, 2017

මරණයේ අභියස සිට.....



                  සිහින් අව් කැරැල්ලක් මගේ ගත සිප ගන්නවා. හිරු මට ආදරේ උනාට, මං හිරුට ආදරේ උනාට, එයා මං වෙනුවෙන් පරිත්‍යාග ගනනාවක් කරාට තව කී සවසක් අපට අප වෙනුවෙන් ජීවත් වෙන්න පුළුවන් වෙයිද කියලා මටවත් හිතාගන්න බෑ. හිරුටත් ඒක දැනෙනවා ඇති...
             අප කී දාහක් දෙනා මේ කැලය පුරා තැනින් තැන යෝධයින් වගේ නැගී සිටියා ද? ඒත් අද ඉතිරි කී දෙනාද? අම්මලා තාත්තලා ඉදිරියේ ම හේන් වගාවට දරුවන් මරා දාලා පුච්චනවා, දරුවන් ඉදිරියේ ම අම්මලා තාත්තලා දිහා මහ අසංවර ව බලලා කට කොනකින් හිනා වෙලා ඔවුන්ගේ ඇඟට නිය පිටින් තට්ටු කරලා යනවා. පස්සේ දවසක ඇවිල්ලා ඔවුන් ව කපලා වාහනයක පටවාගෙන යනවා. මේවා කරන්නෙත් දෙමව්පියන්ගෙන් ම මෙලාෙවට බිහිවුණු අයම නේද කියලා හිතෙනවා. ඔවුන් හරියට රොබෝවරු වගේ. කිසි ම හිතක් පපුවක් නැහැ.. ලතෙත් ගතියක් නැහැ.. දරුවො ඉදිරියේ දෙමව්පියන්ටත් දෙමව්පියො ඉදිරියේ දරුවන්ටත් හිරිහැර කරලා මරා දානවා.
         ඇයි නපුරු මිනිසුනේ නුඹලා මේවා කරන්නේ? හෙට දිනෙක නුඹලාට වැසි නැති වේවි.. හුස්ම ගන්නට
අවැසි ඔක්සිජන් නැතිවේවි... ගංගා, ඇළදොළ, ලිං, උල්පත් සිඳී යාවි. දෙමව්පියන් වැනි මහ යෝධයින් කපලා ඔප දාලා සාලෙ මැද්දෙ කවිච්චියක් තියාගෙන ඒක හැමෝට ම උජාරුවෙන් පෙන්නුවට කවදාහරි දවසක ජීවත් වෙන්නට අවැසි මූලික පහසුකම්වත්, ඔක්සිජන්, ජලය ආදියවත් නැතිව ඔය කවිච්චිය මත ම ඔබට මියැදෙන්නට වන දිනය වැඩි ඈතක නොවෙයි.
        අපේ ම සොයුරු සොයුරියන් අමනුෂ්‍ය පොරෝ පහරින් වේදනාවට පත් වී වේදනාවෙන් හඬා වැටෙමින් මේ මහ පොළව සිප ගන්නවා පෙනෙනවා. අපේ හිත්වලින් නැගෙන වේදනාව, අපේ මුවින් නැගෙන සුසම් කෙදිනක හෝ ඔබට සාපයක් වේවි. ඒ සාපය ඔබේ පසුපස්සෙන් පන්නාවි. අපේම සොයුරු සොයුරියන්ගේ අතු පතර සෙවන ලබමින් ඔවුන්ව ම කපා බිම හෙළන රුදුරු විස සපුන් බඳු මිනිසුනේ ඔබට යන්නට වෙනත් නිරයක් නිර්මාණය නොවනු ඇත. ඔබ යා යුතු නිරය, මේ මිහිපිට ම  ඔබේ ම දෑතින් නිර්මාණය කරන අයුරු වසර ගණනාවක් මම බලා සිටියෙමි. තවත් වසර කීයක් මෙම පාපකාරී දර්ශනය බලා ඉන්නට තරම් මං අවාසනාවන්ත ද කියලා මට වැටහෙන්නේ නැහැ.
                                                                      මට හිතෙන්නේ අපව මරා දාලා නුඹලා සුවපහසු ජීවිතයකට අවශ්‍ය භාණ්ඩ හදනවා වගේ. අවසන් ගමනට යෑමට අවශ්‍ය මිනී පෙට්ටියත් ඔබ අපෙන්ම නිමකර ගත්තානම් හොඳයි. එවිට අප අකාලයේ අවසන් ගමන් ගියත් අපට සැනසෙන්නට හැකියි. මක් නිසාද යත්, එහි නිදන්නේ ඔබ නොවන බවත්‚ ලක් බිමට පමණක් උරුම අපේ වටිනාකම තේරුම් නොගත් මනුෂ්‍යයන් ලෙස හඳුන්වන නොමිනිසුන් පිරිසක් ම පමණක් බවත් අපට තේරුම් ගත හැකි වේවි.

                                                         
                                                                                              මම
                                                                                ඩයොස්පයිරස් එබෙනුම්
                                                                                     ( කළුවර ගස )

No comments: