Thursday, June 22, 2017

“හූවේ” වගතුග

   අපේ පැරණි මුතුන්මිත්තන් සිය අදහස් හුවමාරුකරණයේ දී භාවිත කළේ ප‍්‍රාථමික සන්නිවේදන ක‍්‍රම විධීන් ය. ඒ අතරින්  “හූව”ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. පැරැන්ණන් කට තිබූ පළියට කෑ ගැසීමක් ලෙස හූ කීවේ නැත. එහි විවිධතා මෙන් ම අනන්‍යතා ද තිබිණි. ඉන් කිහිපයක් පහත පරිදි දැක්විය හැකිය.



රහස් හූව
  රහස් පණිවිඩ දැන්වීම සඳහා එකල හූව භාවිත විය. මෙය හැඳින්වූයේ  “රහස් හූව” ලෙසිනි. විශේෂයෙන් රජ මාලිගාවලට උවමනා තොරතුරු හුවමාරු කරගන්නා ලද්දේ මෙකී රහස් හූව මගින් ය. රහස් හූවේ ද විවිධත්වයන් තිබිණි.
      කිසියම් සැක සහිත පුද්ගලයකු පැමිණ විට හූ කියන්නේ එක් රටාවකට ය. සතුරු සේනාවක් පැමිණෙන්නේ නම් එය දන්වන්නේ වෙනස් ම ආකාරයේ හූවකිනි. මඳ දිගු හූවක් හෝ කෙටි හූවක් නැතිනම් හඩ වෙනස් කර සිදුකරන හූවක් ආදී වශයෙන් මෙම රහස් සන්නිවේදනය සිදු විය.

ඔච්චම් හූව
    පැරැන්නන් අතර ඔච්චම් හූව ප‍්‍රචලිත ව භාවිත වුයේ ඔවුන් කෙළිදොලින් කාලය ගත කරන විට දීය. ඒ අතරින් අවුරුදු ජන කී‍්‍රඩා අතරේ එන අංකෙලිය පවත්වන අවස්ථාව සුවිශේෂී වේ. අං කෙලියෙන් පරාජයට පත් වූ පිළ අංපිටිය මැද වාඩි කරවා ජය ලැබූ පිළ විසින් ඔවුනට හූ කියයි. මෙය හැඳින්වෙන්නේ ඔච්චම් හූව ලෙසිනි. ජය ලැබූ පිළ මෙසේ ඔච්චම් හූව දිගට ම පවත්වන විට මඳ වේලාවකින් පරාජිතයන් ද හූ කීම අරඹයි. ඒ ඔවුන් ඔච්චම් හූව පිළිගන්නා බව හැගවීමට ය.

වැදුම් ගේ හූව
     වැදුම් ගේ හූව යනු කාන්තාවන් අතර පැවති හූවකි. ගැමි සමාජ ක‍්‍රමය තුළ කාන්තාවක් දරුවකු ප‍්‍රසූති කරන ලද්දේ නිවසේ තෝරාගත් කාමරයක් තුළ දී ය. එකී කාමරය හැඳින්වූයේ වැදුම් ගෙය ලෙසයි. දරුවකු ප‍්‍රසූති කරන අවස්ථාවේ දී හදිසියේ අනෙක් පිරිසකගේ උදව් අවශ්‍ය වුවහොත් වැදුම් ගෙයි සිටින කාන්තාවන් උදව් ඉල්ලා හූ කියයි. මෙය හඳුන්වන්නේ  “වැදුම්ගෙයි හූව” ලෙසිණි. වැදුම්ගෙයි හූව ඇසුණු පිරිස් උදව් පිණිස දුව එන අතර ඒ එන්නේ ඔවුන ද පිළිතුරු වශයෙන් හූ කියමින් ය.

මුකලන් හූව
    මුකලන් හූව භාවිත වූයේ දඩයමේ යන අවස්ථාවේදී ය. සාමූහික ව දඩයමේ යන විට දී සෙසු දඩයක්කරුවන් අනතුරකින් තොර ව ඉදිරියට යනවා ද යන්න මෙන් ම එකිනෙකා සමාන්තර දුරකින් ගමන් කරනවා ද යන්න තහවුරු කරගන්නේ මුකලන් හූව මගිනි. මෙහි ඇති විශේෂත්වය නම් සාමාන්‍ය මිනිස් කට හඩකින් නගන හූවක හඩට වඩා යක්‍ෂයකු නගන හඩකට සමාන වීම ය. මුකලන් හූව දඩයම් හූව ලෙසත් හඳුන්වනු ලබයි.

වැහි හුව
   අධික වර්ශාව පවතින විට විශේෂයෙන් වැව වාන් දමන විට දී වැව් බැම්ම ආරක්‍ෂා කර ගැනීමට පැරැන්නෝ උත්සහ කළහ. මේ සඳහා ගම් වාසීන් රැස් කරගත යුතු වූ අතර එය සිදුකරන ලද්දේ හූවකිනි. මෙය වැහි හූව ලෙසට හඳුන්වයි. වැහි හූවේ දී මුල් තැන ගෙන කටයුතු කරන්නේ ගමේ සිටින නායකයින් ය.

       සන්නිවේදන විධික‍්‍රමයක් ලෙස හූව භාවිත කිරීමේ දී ඊට උචිත රටාවක් මෙන් ම නිෂ්චිත ස්ථානයක් පවතී. එක් එක් හූවෙහි සම්මතයන් හරියාකාර ව නොහඳුනයි නම් හූවෙන් කියැවෙන අර්ථය නිසියාකාර ව අවබෝධ කරගැනීමට අසිරු වේ. පැරැන්ණන් මෙකී සම්මතයන් පිළිබඳ අත්දැකීමෙන් ම හඳුනාගෙන තිබිණි. මේ නිසා ම ඔවුන් හූව දුර මැනීමේ මිම්මක් ලෙස ද භාවිත කළේ ය.  හූවේ දුර”‚  “හූ දෙකක විතර දුර”‚  “හුවක් දුර නෑ” යනා දී ලෙස තවකෙකුට දුර කීමේ මිම්මක් ලෙස හූව භාවිත කිරිමට පැරුන්ණන් හුරු ව සිටියේ ය.

No comments: