Monday, May 29, 2017

ජන සංගීතයෙන් පෝෂිත නූතන ගීත සාහිත්‍යය

 

                ජන කවි, ජන ගායනා, ජන නාදමාලා යනාදිය සාම්ප‍්‍රදායික ජන ජීවිතය ප‍්‍රතිණිර්මාණය කරන කැඩපතක් බඳු ය. උසස් මිනිස් චින්තනයක් නොමැති කාලයක මේවා බිහි වුවත් මෙකී සාම්ප‍්‍රදායික අංග තුළ ඉතා විශිෂ්ට සෞන්දාර්යාත්මක සේ ම අර්ථාන්විත බවක් පවතී. නූතන ගීත සාහිත්‍යය පෝෂණයට පවා අතීත ජන සංගීතය යොදා ගැනීම හරහා ද එය තහවුරු වේ.
පුරාණෝක්ති ඇසුරින් ජන කවි නිර්මාණය වී තිබේ. දස්කොන් ප‍්‍රමිලා ජන කතාව ඇසුරෙන් නිර්මාණය වූ ජනකවි පාදක කරගෙන ද නූතනයේ දී සරල ගී නිර්මාණය වි ඇත.

ජන කවිය - සක්මන් කරන මලූවේ දී බැඳි          හාද
                  සිත්සන්තොසින් දුන් මුව මී           බීවාද
                  ඉක්මන් ගමන් හිමියනි නුඹ        යනවාද
                  දස්කොන් මගෙ නමට නුඹ දිවි  දෙනවාද

                   ඉහත ජන කවිය ඇසුරෙන් දස්කොන් ප‍්‍රමිලා ජනප‍්‍රවාදය ඉස්මතු කෙරෙන සරල ගීත දෙකක් නූතන ගීත සාහිත්‍යය තුළ දක්නට ලැබේ. එනම් අමරදේව මහතා ගයන “දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින් නොයෙනා ගමනකි යන්නේ” යන ගීතය සහ කරුණාරත්න දිවුල්ගනේ මහතා විසින් ගයන “සක්මන් කරන මලූව පාලූයි දේවී” යන ගීතය යි. මෙම ගීත දෙකෙහිම මුල් කොටස ගත් විට දී ඉහත ජන කවියේ අඩංගු වචන එහා මෙහා කර භාවිතකර ඇති බවක් පෙන්නුම් කරයි. අතීත සිදුවීම් ආශි‍්‍රතව පැවති ජන කවි අනුසාරයෙන් නූතන ගීත නිර්මාණය වීම හරහා එකී ජන ගීතය සේ ම අතීත සිදුවීම ද සමාජය තුළ ජනප‍්‍රිය වන බව කිව යුතු ය.
                     නැළවිලි ගීත ද ජන ගායනා අතර දැකිය හැකි විශේෂිත ගීත විශේෂයක් වේ. ඒ ඇසුරෙන් ද නූතන ගීත නිර්මාණය වී ඇත. අමරදේවයන් විසින් ගායනා කරන “මුනි සිරිපා සිඹිමින්නේ”  ගීතය දරුවෙකු නැළවීමට යොදාගන්නා ගීතයකි. එනම් අතීතයේ දරුවන් නැළවීමට යොදාගත් දරු නැළවිළි සංකල්පය මීට යොදාගෙන ඇත. නැළවිලි ගී තනුව අනුකරණය කර නැතත් දරුවකු නිදි කරවිය හැකි මිහිරි තනුවක් එම ගීතයේ මුල් කොටසට යොදා ගෙන ඇත.
                   එසේ ම ඇතැම් මව් ගුණ ගී නිර්මාණයට නැලවිළි ගී තනුව භාවිත කර තිබේ. වික්ටර් රත්නායක මහතා විසින් ගයන “ආදරයේ උල්පත වූ අම්මා” ගීතයේ
           
             ”සඳ දිය කොට කිරි වතුරෙන්
              ඒ දියරෙන් මුව දෝවා
              දිව මතුරක් වන් නැළවිලි ගීයෙන්
              මතකයි මා නැළවුවා”
                        යන කොටස නිර්මාණය කර ඇත්තේ නැළවිලි ගී තනුවට අනුව ය. සාම්ප‍්‍රදායික ජන ගීත ආභාසය එලෙසින් ම යොදාගෙන ඇති නූතන ගීතයක් ලෙස වසන්ත කුමාර කොබවක මහකා විසින් රචනා කරන ලද “පලංචියේ ලී ඉරුවේ අපි එකට” ගීතය නම් කළ හැකි ය. සාම්ප‍්‍රදායික ජන ගීතවල තාලය කොටස් දෙකකට බෙදෙ යි. එනම්
       

        •   ආඝාතාත්මක කවි
        •   අනාඝාතාත්මක කවි
               ඉහත ගීතයේ තනු නිර්මාණය කිරිමේ දී මෙකී ක‍්‍රම දෙකට ම අනුව නිර්මාණයකර ඇත. ගීතයේ පළමු පද පේළි හතර ආඝාතාත්මක (තාල තැබිය හැකි) ලෙස නිර්මාණය වී තිබේ. “පෙම් දම් නිසා මිතුදම් බිඳ දමන්න ද - හොඳ හිත නුඹෙ තරම් කොතනින් ලබන්නද” යන කොටස අනාඝාතාත්මක (තාල තැබිය නොහැකි) ව නිර්මාණය කිරීමට රෝහණ වීරසිංහ මහතා වගබලාගෙන ඇත. එමෙන් ම එම කොටසේ තනු සමුද්‍රාඝෝෂ විරිත ඇසුරින් නිර්මාණය කර ඇති නිසා රසිකයා තුළ එම පද පෙළෙහි අරුත තවත් තීව‍්‍ර වනු පෙනෙයි.  
                ආචාර්ය අජන්තා රනසිංහ පද රචනය කළ “අක්කා නගෝලාගේ බොළඳ සිනා” ගීතය ගැමි ශ‍්‍රැතියට ම ගැයීට පද නිර්මාණය කර ඇත. මෙහි සංගීතය නිර්මාණය ශාන්තිකර්ම ගී ඇසුරු කරගෙන දයා රත්නසේකර මහතා විසින් සිදු කර ඇත. ජන ගීත වලට ආවේණික ලක්‍ෂණයක් වන්නේ පහළ ස්වරයක සිට එකවර ඉහළ ස්වරයකට ගොස් නැවත අවරෝහණ ස්වරූපයෙන් පහළ ස්වරයකට ඒමේ ස්වභාවය යි. මෙකී ස්වභාවය ඉහත ගීතයේ ද දැකගත හැකිය. සාම්ප‍්‍රදායික ජන සංගීතයේ දී භාවිත වන රබාන, බෙරය, ගෙජ්ජි වැනි සංගීත භාණ්ඩ ද ගීතය සඳහා යොදාගෙන ඇත.
               රජවරුන්ගේ ගුණ වර්ණනාවන් ගීතයෙන් ගැයීම ප‍්‍රශස්ති නම් වේ. මෑතක දී හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් සහේලි විසින් ගැයූ  “ආයුබොවේවා” ගීතය තුළ ප‍්‍රශස්ති ගී ලක්‍ෂණ පෙන්නුම් කරයි.
              නන්දා මාලනී මහත්මිය විසින් ගයන “සැඳෑ කලූවර කුර ගගාවිත්” ගීතය කුවේණි අස්න ගැයෙන තනුවට අනුව නිර්මාණය කර තිබේ. කුවේණි අස්නෙහි ඇත්තේ කුවේණිගේ වැළපුමයි. එසේ ම ඉහත ගීතයේ පද මාලාව හරහා පැවසෙනුයේ යුවතියකගේ විරහවකි. ශෝකයකි. එබැවින් එම ගීතයට කුවේණි අස්නෙහි පද මාලාව යෙදීමෙන් ගීතයේ අරුත තවත් ඉස්මතු වී පෙනෙ යි.

Sunday, May 28, 2017

කාලෙ කන්න හොඳම විදිහ....














නිෂ්පාදක මහත්තයට - සල්ලි ටිකක් හොයා ගන්න
රූපවාහිනී සේවෙට  -  කාලෙ සල්ලි වලට දෙන්න
පන්ති අඳින වැඩට අඳින - ඇදුම් මෝස්තර බලන්න
පෙම්වතුන්ට පෙම් කරන්න - දෙබස් ටිකක් අහුල ගන්න


කුස්සියෙ වැඩ කරන අයට - රූප නැතිය හඬ අහන්න
ලොකු ලොකු බංගලා ඇතුලේ - බඩු අහුරන හැටි බලන්න
හැම දෙයක ම හොදක් දකින - අයට හොදක් හොයාගන්න
හැම දෙයක ම වැරදි දකින - අයට විවේචන කරන්න

කියන්න මොකවත් නැති විට - රස කර කර කතා වෙන්න
නයිට් ඩියුටි කරන අයට - නින්ද ටිකක් මග අරින්න
පොඩි එවුන්ව රවට්ටලා - බත්ගුලි කට තුළ ඔබන්න
ආච්චිලට සීයලාට - මළ විකාර බලා ගන්න

ගේදොර වෙහෙසෙන ළදුන්ට - වෙහෙස ටිකක් නිවාගන්න
සිහින ලෝකෙ ඉන්න අයට - ඉකි බිඳ බිඳ කදුලූ බොන්න
සාහිත්‍යය දන්න අයට - හැකියාවන් මොට කරන්න
විභාග ලග තියෙන අයට - අනාගතය වල දමන්න

නෝනලාගෙ කරච්චලේ -නෑහුණ ගානට ඉදින්න
ගෙදර ඉන්න මදුරුවන්ට - බඩ පිරෙන්න ලේ උරන්න
මොකවත් නොහිතන එවුන්ට - ඔහේ නිකන් බලන් ඉන්න
ටෙලිනාට්‍ය විනාඩි තිහ හොඳම ක‍්‍රමය කාලෙ කන්න

Sunday, May 21, 2017

විරෝධාකල්ප ගීත විචාරය. ‘‘බලා එන්ට මහ පෙරහැර සිදාදියට මං ගිය කළ’’

                 

                 



                       බලා එන්ට මහ පෙරහැර සිදාදියට මං ගිය කළ
                       පෙරලා එන්නට නොහැකිව පාර වැරදුනී...
                       සෙයිලමේ බඹර පිරිවර උදව්වට ඇවිත් කළ විණ
                       කියන්නට ගියේ දෙවොලට ගයා යාදීනී...

                        ගොසින් මව්පියන් සමඟින් වැටී අඩඳිණින් බැතියෙන් 
                       වඩින කළ දෙවොල හිස මත කැඞී පෙරළුණි...
                       දෙව් වරම් පතා ලසොවින තිරෙන් මුවාවට ගිය කළ
                                                                              අනේ දෙවිඳු පාමුල ඉන සළුව ගිලිහුණී....

                                                                             පිලේ කඩපිලේ අගුවල දොළේ තොටුපලේ බැඳිවල 
                                                                             පැලේ වැඩපලේ ඇවිලේ රාග ලැව් ගිනී...
                                                                             කඩා තන මඩල සරොසින ගසා ගිනි ගැනුණු පුරවර 
                                                                             දවාළනු මෙපුර සැනෙකින සිද්ධ පත්තිනී..


                                 ලාංකේය ගැමි කාන්තාවකට මුහුණ දීමට සිදුව ඇති ලිංගික හිංසනය සහ නීතිය ඉදිරියේ ඇය කෙතරම් අසරණ වනවා ද යන්න සංකේතාත්මක ව ඉදිරිපත් කරන යථාර්තවාදී විග‍්‍රහයක් ලෙස නන්දා මාලනිය විසින් ගායන ‘බලා එන්ට මහ පෙරහැර’ ගීතය හඳුන්වා දීමට පුළුවන.

‘‘බලා එන්ට මහ පෙරහැර සිදාදියට මං ගිය කළ
                            පෙරලා එන්නට නොහැකිව පාර වැරදුනී
  සෙයිලමේ බඹර පිරිවර උදව්වට ඇවිත් කළ විණ
                            කියන්නට ගියේ දෙවොලට ගයා යාදීනී’’
 
             පෙරහැර යනු සියලූ සංස්කෘතික අංගයන්ගෙන් පරිපූර්ණ කි‍්‍රයාවලියකි. බොහෝවිට එය පවතින්නේ ජනාශි‍්‍රතව ය. වර්ණවත් ය. නර්තන සහ ගායනයන්ගෙන් පිරී ඇති පෙරහැර නරඹන්නන්ගේ සිත්හි ඇති කරනුයේ විචිත‍්‍රත්වයකි. ගීතයේ එන ග‍්‍රාමීය දුප්පත් යුවතිය නගරයට එන්නේ රැකියාවක් බලාපොරොත්තුවෙන් විය හැකි ය. සිය දෙමාපියන්ට බරක් නොවී තමා විසින් ම යම් මුදලක් උපයාගෙන එම මුදලෙන් සිය දෙමාපියන්ද පෝෂණය කිරීමටත් අනාගතය උදෙසා යම් මුදලක් ඉතිරිකර ගැනීමත් යනාදී විචිත‍්‍රවත් පැතුම් ගොන්නක් සමගින් ඇය නගරයට පැමිණේ.
         මෙලෙස සිය පැතුම් සමුදාය ඉටු කර ගැනීමේ අරමුණින් ජනාකීර්ණ නගරයකට එන කතා නායිකාව ගීතයේ සංකේතාත්මක ව හඳුන්වන්නේ ‘‘බලා එන්ට මහ පෙරහැර සිදාදියට මං ගිය කළ’’ ලෙසට ය.
     බලාපොරොත්තු දහසක් සමග ඇය නගරයට ගිය ද ඇයට සිය බලාපොරොත්තු ඉටුකරගන්න නොහැකි වන්නා සේම ඇයට මුහුණපාන්නට සිදුවන්නේ  සිහිනෙන්වත් නොසිතූ දෙයකට ය.
  කාත් කවුරුවත් නොහඳුනන ප‍්‍රදේශයක තනිවන ඇය වෙතට මිතුරු වෙසින් ලගා වන්නේ රකුසන් ය.
         නගරයේ මිනිසුන්, ඔවුන්ගේ හැසිරීම්, සිතුම් පැතුම් ගැමි සමාජයක වෙසෙන්නන්ගේ මෙන් සුමට නොවන්නේ ය. පවිත‍්‍ර නොවන්නේ ය. නාගරික ව එවැන්නන් සිටීනම් එ් ඉතාමත් අල්ප වශයෙනි. උපන් දා සිට ගැමි දිවියකට හුරු වූ මැයට නගරය නුහුරු ය. ඇයට මිත‍්‍රත්වය පාමින් ඇයට මිතුරු වෙසින් ලගා වන රකුසන්ගේ ලිංගික ගොදුරක් බවට ඇය හසුවන්නේ මේ නිසාවෙණි. රචිකාවිය ඔවුන්ව හඳුන්වා දී ඇත්තේ ‘‘බඹර පිරිවර’’ ලෙසට ය. නගරයේ තනිවන තරුණියට උදව් කිරීමට යැයි කියා පැමිණෙන මෙම සළෙලු බඹරුන් ඇයගෙන් අයුතු ප‍්‍රයෝජන ලබාගනී.
              මිනිසා යනු මනසින් උසස් යන්න බව අරුත් ගැනුණ ද ඇතැම් මිනිසුන්ගේ මෙවැනි කි‍්‍රයා මත ඔවුන් නමට පමණක් මිනිසුන් වන නොමිනිසුන් සමාජයේ වෙසෙන බව පසක් කර දෙයි.
               නොමිනිසුන් අතරේ අසරණවන ඇය පිළිසරනක් පතන්නේ නීතියේ ය. කිවිදිය එය සංකේවත් කරනුයේ ‘‘දෙවොලට ගොස් යැදීම’’ යනුවෙනි. දෙවොල යනු පොලීසිය යි. සමාජ සාධාරණය ලබා දෙන ස්ථානයක් ලෙස පොලිසිය සැළකෙන මුත් ඉන් සමාජයට සැබැවින් ම සාධාරණය ඉටු වන්නේ ද යන්න නැවතත් සිතිය යුතු ය. මුදල, බලය රජයන විට සාධාරණය ද යටපත් වේ.


                   ‘‘ගොසින් මව්පියන් සම`ගින් වැටී අඩදණින් බැතියෙන්
                       ව`දින කළ දෙවොල හිස මත කඩා පෙරළුණි...’’
   

            තම දුක්ගිනි පැවසීමටත් ඊට සහනයක්, පිහිටක් පතන්නට දෙවොලට යන මිනිසුන් දේවියන් හමුවේ දණින් වැටී කන්නලව් කරයි. එ් දෙවියන් කෙරෙහි පවතින භක්තියෙනි.
             කිවිදිය මෙහිදී නාගරික සමාජයේ සළෙලූන්ට ලිංගික ගොදුරක් වූ කාන්තාව සිය දෙමාපියන් සමගින් පොලීසියට ගොස් ඔවුන් ඉදිරියේ දණින් වැටී සරණ පතන බව දක්වයි. එහෙත් මොවුන් පොලීසිය අභිමුව දණින් වැටෙනුයේ භක්තිය නිසා නොව  මුදල, බලය නොතකමින් ඔවුනට සාධාරණය ඉටු කරන ලෙස බැගෑපත් වෙමින් ය. තමාට සාධාරණයක් ලබා ගැනීමට භාවිත කිරීමට තරම් සමාජයේ පීඩිත පාන්තිකයන් ල`ග මුදල්, බලය සහ සමාජ බලපුළුවම්කාරකම් නොමැත. මෙවැනි සිදුවීම්වල දී දුප්පතාට බොහෝ විට උරුමවන්නේ සාධාරණයකට වඩා මුදලේ බලයෙන් සහ සමාජ බලපුළුවම්කාරකම්වලින් පාලනය වන්නා වූ අසාධාරණය යි.
   
               තමා අසරණ වූ මොහොතේ තම පිහිටට සිටින දෙවියන් ලෙස සළකමින් මැය නීතිය හමුවට ගිය ද ඇය එතනදී තවත් අසරණ වේ. පොලිස් නිලධාරීන් ඇයට කරන අවමාන අපහාස පිළිබ`ද යථාර්තවාදී විග‍්‍රහයක් ‘‘වදින කළ දෙවල හිස මත කඩා පෙරළුණි’’ යන පද පෙළෙන් සංකේතාත්මක කරයි.
         කිවිදිය මෙහිදී උළුප්පමින් දක්වන්නට උත්සහ ගෙන ඇත්තේ මනකල්පිතයක් නො ව මෙරටෙහි මතුපිටින් පෙනෙන මුත් කිසිවකුත් හඩ නැගීමට මැලිවන සැබෑ යථාර්ථය යි.
                   
                  ‘‘දෙව් වරම් පතා ලසොවින තිරෙන් මුවාවට ගිය කළ
                       අනේ දෙවිඳු පාමුල ඉන සළුව ගිලිහුනී’’

              පොලීසිය හමුවේ තමාට සාධාරණයක් ඉටු නොවන කළ ඇය ඊළගට කරනුයේ අධිකරණය හමුවට තම දුක් ගැනවිල්ල ඉදිරිපත් කිරීම ය. ‘‘දෙව් වරම් පතා’’ යනුවෙන් දක්වා ඇත්තේ එය ම නො වේ ද? එහෙත් ඇයට අධිකරණයෙන් ද සාධාරණයක් සිදු නොවන අතර එම ස්ථානයෙන් ඇය තවත් අසරණ වේ.
           ලිංගික හිංසනයට අතවරයට ලක්වන කාන්තාවන් තමාට සාධාරණයක් පතා නීතිය හමුවට ගිය ද වැඩිවනක්ම සිදුවන්නේ සාධාරණයකට වඩා ඔවුන් තවත් ලිංගික හිංසනයට පීඩනයට ලක් වීම පමණකි. අසරණ වන කාන්තාවකගෙන් අයුතු ප‍්‍රයෝජන ගැනීමට බලා සිටින සල්ලාළයන්ගේ තරා තිරමක් නැත. කාසි සොයා නගරයට එන ඇය ව මිතුරු වෙසින් ආ පිරිමින් අතින් දූෂණයට ලක් වන්නේත් සරණ පතා පොලීසියට සහ අධිකරණය හමුවට ගිය විට සමාජයේ උසස් වැදගත් යැයි සැළකෙන මහත්වරුන් අතිනුත් ඇය ලිංගික හිංසනයට ලක් වන්නේ මෙම නිසාවෙනි.
   
                අධිකරණයේ සිටින සමාජ තත්වය අධ්‍යාපනය අතින් ඉහළස්ථානය නියොජනය කරන මහත්වරුන් අතින් ඇය කෙළෙසෙන බව කිවි`දිය දක්වනුයේ ‘‘දෙවිඳු පාමුල ඉන සළුව ගිලිහුණී’’ ලෙසිනි.

                    ‘‘පිලේ කඩපිලේ අගුවල දොළේ තොටුපලේ බැ`දිවල
                         පැලේ වැඩපලේ ඇවිලී රාග ලැව් ගිනී’’

           සමාජයේ සෑම අස්සක් මුල්ලක් නෑරම වෙනසකින් තොරව රාගයෙන් ගිනිගෙන ඇත. ‘‘පිළේ කඩපිළේ අගුවල දොළේ තොටුපළේ බැදිවල පැළේ වැඩපළේ’’ ලෙස දක්වමින් කිවිදිය මතු කරන්නේ එය යි.
           ඇය රාග ගින්න හදුන්වන්නේ ‘‘ලැව් ගින්නක්’’ වශයෙනි. ලැව් ගින්නක් හටගන්නේ දිගු කලක් අධික උණුසුමින් පීඩිත ව ඇති වියලි ගස්කොළන් මත සැළසුමකින් තොර ව ස්වභාවික ව ම ය. රාග ගින්න ද තමන් තුළින් උපදින ධර්මතාවක් ය යන්න එම පද පෙළින් මොනවට පැහැදිලි ය.
               
                සමාජයේ ද රාගික ආශාවන්ගෙන් වියරු වැටී සිටින්නන් බිළිදියක්, දියණියක්, තරුණියක්, මැහැල්ලක් යන වෙනසකින් තොර ව ඔවුන්ගේ ආශාවන් සංතර්පණය කරගැනීමට පෙළඹෙන්නේ කිසිදු චිත්ත පාලනයකින් තොරව ය.
             පිළිසරණක් පැතූ සියල්ලන්ගෙන් ම ඇයට නිසි පිළිසරණක් නොලැබෙන අතර ඉන්  ඇය සමාජයට වෛර කරන්නට පටන්ගනී.

                  ‘‘කඩා තන මඩල සරොසින දවා ගිනි ගැනුණු පුරවර
                   දවාළනු මෙපුර සැනෙකින සිද්ධ පත්තිනී’’

            සිද්ධ පත්තිනී ලෙස රචිකාවිය දක්වා ඇත්තේ නීතියේ දෙව්දුව විය නොහැකි ද? සිය පතිවත දේවත්වයෙන් රැුකගත් කන්නගීට එකී හේතුව නිසා ම පතිවෘතා බල මහිමයක් උරුම වේ. නොකළ වරදකට මරුමුව යන සිය සැමියාට නැවත ජීවිතය ලබා ගැනීමට ඇයට හැකි වන්නේ ඇගේ පතිවෘතා බල මහිමය නිසාවෙනි.
             තමා වෙසෙන සමාජයෙන් සාධාරණයක් නොලබන ඇය අවසන පත්තිනි මෑණියට කන්නලව් කරනුයේ සමාජය පිළිබ`ද ඇති වූ වෛරයත් සමගිනි. පවතින සමාජ ක‍්‍රමය වෙනස් කිරීමට නීතියටවත් නොහැකි කළ තමන් අදහන දෙවිදේවතාවන්ට කියනවා විනා වෙන අන් සරණක් ඇයට නැත.
             එසේ ම ඇය පත්තිනි මෑණියන්ට කන්නලව් කරමින් සමාජයේ පවතින කාන්තාවන් පීඩාවට පත් කරන මෙවැනි රාගික සිතිවිලි විනාශ කිරීමක් ද ඇය පත්තිනි මෑණියන්ගෙන් බලාපොරොත්තු වූවා විය හැකිය.
              ‘‘කඩා තන මඩල සරොසින දවා ගිනි ගැනුණු පුරවර දවාළනු මෙපුර සැනෙකිණ’’ යන්නෙන් ඇය තුළ සමස්ථ සමාජය කෙරෙහි ම පවතින කෝපය ප‍්‍රබල ව විද්‍යාමාන වේ.
 
                කාන්තාවකගේ වේදනාව පීඩාකාරීබව වඩාත් මැනවින් වැටහෙනුයේ තවත් කාන්තාවකට මිස අන් කවරෙකුට ද? සුභර්ශනී ධර්මරත්න කිවිදිය විසින් සමාජය තුළ අවස්ථා කිහිපයකදීම ලිංගික හිංසනයට ලක් වන තරුණියකගේ සිතුවිලි ගීතයකින් නිරූපණය කර ඇති ආකාරය අගය කළ හැකිය. එකී අර්තය තවත් තීව‍්‍ර කරලීමට ගීතයේ සංගීතය නිර්මාණය කළ එම්. ආර් චූලසිංහයන් ගෙන ඇති උත්සහය සාර්ථක ය. ගීතය ආරම්භයේ සිට අවසානය දක්වා ම යොදාගෙන තිබෙන ‘පෙරහැරක දී ඇසෙන බෙර නාදය’ මීට නිදසුනකි.
              එසේ ම කිවිදිය, සමාජය විසින් ප‍්‍රශ්න කිරීමට නොඉදිරිපත්වන සහ නොදන්නා සේ සිටින මෙවැනි සමාජ අසාධාරණයක් පිළිබද ව සංයමයකින් යුතුව ගීතය මාධ්‍යය කොට ගෙන විරුද්ධත්වය දක්වන ආකාරය ද  අගය කළ යුතුය.

Saturday, May 20, 2017

සිංහල සිනමාවේ කාන්තා සළකුණ

                                                                      
              ලාංකේය සිංහල සිනමාට පළමුවැනි කාන්තා අධ්‍යක්‍ෂකවරියකගේ ආගමනය සිදුවන්නේ 1965 වසරේ දී ය. ඇය නමින් ෆ්ලොරීඩා ජයලත් වේ. සිංහල සිනමා වංශ කතාවේ දැක්වෙන්නේ ඇය එක රැයින් තරුවක් බවට ද පත් නිළියක බවයි. ඊට ඇයට ම පාදන්නේ එකල අතිශ්‍යය ජනපි‍්‍රය චිත‍්‍රපටයක් වූ සුජාතා චිත‍්‍රපටයේ එන සුජාතාගේ චරිතය යි. එකල ඇයගේ ජනප‍්‍රියත්වය දෙවෙනි වූයේ රුක්මණී දේවියට පමණක් ම බැව් සදහන් වේ. 1956 පැවති දිනමිණ රගමඩල චිත‍්‍රපට තරගයේ දී පි‍්‍රයතම නිළිය වශයෙන් දෙවෙනි ස්ථානය දිනා ගත්තේ ෆ්ලොරීඩා ය. එසේ ම සුවිනී, සැඩසුළං, සේපාලි, ලාලනී යන ඉතා ජනප‍්‍රිය වාණිජ චිත‍්‍රපට සඳහා ද ඇය රංගනයෙන් දායක වී ඇත.

          රංගනයෙන් ලද පන්නරයත් සමග ම ඇය චිත‍්‍රපට අධ්‍යක්‍ෂණයට යොමු වූ නිසා ඇගේ චිත‍්‍රපට අධ්‍යක්‍ෂණ ගමන් මගට එය මහත් පිටිවහලක් වන්නට ඇත.
    1965 වසරේ දී තිරගත වූ ස්විප් ටිකට් චිත‍්‍රපටය ඇය විසින් අධ්‍යක්‍ෂණය කළ පළමු චිත‍්‍රපටය යි. එකල පැවති චිත‍්‍රපටවලට වඩා වෙනස් තේමාවක් රැගත් මෙම චිත‍්‍රපටය මගින් කාන්තා ගුණය පිළිබද යම් අදහසක් ප්‍රෙක්‍ෂකයාට ගෙන ඒමට ඇය උත්සහ ගෙන ඇති බවක් පෙනී යයි. ෆ්ලොරීඩා, ස්වීප් ටිකට් තුළින් අපට පවසන්නේ නොපනත් සැමියන් අතරේ ද කුලවත් බිරින්දෑවරුන් සිටින බව යි.
     ෆ්ලොරීඩා ජයලත් මෙම චිත‍්‍රපටය අධ්‍යක්‍ෂණයට අත ගසන්නේ රාජා ජොෂුවා නම් සහයකු ද සමග ය. රාජා ජොෂුවා ද්‍රවිඩ සිනමාකරුවෙකි. ඔහු ලෙනින් මොරායස්ගේ ”සුදු දුව” යන චිත‍්‍රපටය තැනීමට ද සහය වී ඇත.
   ස්වීප් ටිකට් චිත‍්‍රපටය තිරගත වී අදට වසර පනස් දෙකක් පමණ ගත ව ඇත. එහෙත් එම චිත‍්‍රපටයේ ශේෂයන් අදටත් අප අතර පවතී. “ආවා පෙම්වතා යන්නේ, හොද සිරියාවයි ආකාසේ, මේ ලෝකේ සියල්ලෝ සිනාවන්නේ ඇයි දෝ” යන ගීත අදත් ගුවන් විදුලියෙන් අපට නිරන්තරයෙන් අසන්නට ලැබේ.
   1997 දී ෆ්ලොරීඩාට සම්මාන දෙකක් පිළිගැන්විණි. එකක් සරසවිය සම්මාන උළෙලේ නමස්කාර පූජා විශේෂ සම්මානය යි. අනික ජනාධිපති සමමාන උළෙලේ පුරෝගාමී සම්මානය යි.
පසු කාලීන ව ෆ්ලොරීඩා ජයලත්ට අමතර ව අධ්‍යක්‍ෂකවරුන් ලෙස කාන්තාවන් දෙදෙනකු සිනමාවට ප‍්‍රවිශ්ට වේ. 1967 දී රූබි ද මැල් විසින් ”පිපෙන කුසුම” අධ්‍යක්‍ෂණය කරමින් සිංහල සිනමාවේ දෙවෙනි අධ්‍යක්‍ෂිකාව ලෙස සිනමාට පිවිසේ. අනෙක් අධ්‍යක්‍ෂකයරිවය වන්නේ 1968 දී ”හැංගි හොරා” චිත‍්‍රපටය අධ්‍යක්‍ෂණය කරමින් සිනමාට පිවිසි රෝහිණී ජයකොඩි ය. විශේෂත්වය නම් මෙම දෙදෙනා ද ජනපි‍්‍රය නිළියන් වීම යි.




Sunday, May 14, 2017

බස ආ මග....

             

                                                                                                                                                                             
       මිනිසා අන් අය සමඟ සිය අදහස් සිතුවිලි හුවමාරු කරගැනීමට පෙළඹෙන්නේ මව් කුස පිළිසිඳ ගත් දා පටන් ය. බිළිඳෙකුගේ පිළිසිඳ ගැනීමත් සමඟ එම බිළිඳා සිය මව සමඟ සිය සිතැඟි හුවමාරු කර ගනී. 
     මිනිසා යනු සාමූහික සත්වයෙකි. සාමූහිකත්වය දිගුකල් පවත්වා ගැනීමට මිනිසා සිය අදහස් තොරතුරු හුවමාරු කරගැනීම සිදු කරයි. ඊට භාවිත කෙරෙන ප්‍රධාන මෙවලම වන්නේ භාෂාව යි. මානවයා සෙසු සත්ව වර්ගයාගෙන් වෙන්කර  සංස්කෘතික සත්වයෙකු ලෙස හඳුනාගැනීමට මුල්වන ලක්‍ෂණ අතරින් ද භාෂාවට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. 
     මානව භාෂාවේ උපත මානව ශිෂ්ටාචාරයේ ආරම්භය තෙක් ම දිව යන්නකි. මුල් කාලීන මානවයාට සිය අදහස් හුවමාරු කරගැනීමට විධිමත් භාෂා රටාවක් නොතිබී ය. අංගචලන, ඉඟිබිඟි, කටහඬ වැනි පාථමික සන්නිවේදන විධි භාවිත කරමින් ඔවුන් සන්නිවේදනයේ යෙදුණි. විටෙකදී මෙකී සන්නිවේදන කාර්යය සඳහා ස්වභාවික පරිසරයේ ජීවි අජීවී වස්තූන් ද මුල් මානව පරිණාමීය අවධීන් තුළ බහුල ව භාවිත කළේ ය. දඩයම් කටයුතුවලදී තමන් මුහුනදුන් අත්දැකීම්, සංඥාා සහ සංකේත බවට පෙරලමින් මොවුහු තමන් වාසය කළ ගල් ගුහාවල චිත්‍රනය කළහ. විශ්වීය භාෂාවක් ලෙස සැලකෙන චිත්‍ර කලාවෙහි අක්මුල් වන්නේ මුල්කාලීන මානවයා විසින් අඳින ලද මෙකී ලෙන් සිතුවම් ය. 
     ලෙන් සිතුවම්වල ඉදිරි පියවරක් ලෙස ලේඛණ බස නිර්මාණය වේ. චීන ජාතික “සායිලුං” විසින් කඩදාසිය සොයා ගැනීම ලේඛණ ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයකි. 
      මිනිසා කායික සහ මානසික වශයෙන් පරිණාමීය ව ඉදිරියට යන ගමනේ දී නිර්මාණාත්මක චින්තනයේ දියුණුවට ද මග විවර වේ. සිය අදහස් සිතුවිලි සාම්පදායික ක්‍රමවේදයන්ගෙන් බැහැර ව වෙනස් ම ආකාරයකින් ඉදිරිපත් කිරීම සඳහා භාෂාව විවිධ රටාවන්ගෙන් භාවිත කිරීමත් සමඟ සන්නිවේදන කියාවලිය තුළ නිර්මාණාත්මක සන්නිවේදනය ලෙස වෙනම ම ධාරාවක් ගොඩ නැඟේ.  
ජනකවි, ජනකතා, ජනකීඩා, ජනනාටක යනාදී    ජන ශ්‍රැතිකාංග හරහා නිරූපණය වන්නේ ආදි මුතුනමිත්තන් සතු වූ නිර්මාණාත්මක භාෂා රටාවයි.        ජනශ්‍රැතිකාංගවල ආභාසයෙන් චිත්‍ර කලාව, නර්ථන කලාව, මූර්ති කලාව, මෙන් ම ගීත, කවි, කතා රචනය යනාදී කලා නිර්මාණ බිහි වේ. 
    කලා නිර්මාණ සහ සාහිත්‍ය නිර්මාණවල භාෂාව මෙන් ම අර්ථයන් ද පරිණාමීය ව වෙනසක් ගනී. සිංහල කවිය පිළිබඳ විමසීමේ දී හමුවන හැත්තෑව දශකයේ කවි යුගය, අසූව දශකයේ කවි යුගය, නිසඳැස් කවි යුගය, පේරාදෙනිය කවි යුගය, කොළඹ යුගයේ පෙර සහ පසු යුගය යනාදී එක් එක් යුගවල බිහි වූ කවිවල විවිධත්වයන් මීට නිදසුනකි.
   විවිධ ප්‍රදේශවල විවිධ සංස්කෘතීන් තුළ ජීවත් වූ පුද්ගලයන් ඔවුන් අයත් එම ප්‍රදේශ හා සංස්කෘතීන්ට ආවේණික වූ භාෂා රටාවන් ගොඩනගා ගත්තේ ය. එහෙයින් ප්‍රධාන ධාරාවේ භාෂා රටාවට අමතර ව උප භාෂාවන් ගනනාවක් බිහි විණි. 
   මෙලෙස ක්‍රමක්‍රමයෙන් විකාශනය වූ භාෂාව, ගුවන්විදුලිය රූපවාහිනිය වැනි ජනමාධ්‍යයේත් ජංගම දුරකතනය, අන්තර්ජාලය, සමාජ ජාල වැනි නව මාධ්‍යයේත් ආගමනය සමඟ පරිවර්ථනීය වෙනසකට ලක් වේ. මෙම ජනමාධ්‍ය සහ නව මාධ්‍ය මගින් මානව සන්නිවේදනය පහසු කරලීමක් සිදුකරත් එමඟින් භාෂාව උඩුයටිකුරු කරලීමක් සිදුකර ඇත. 
     ජනමාධ්‍ය තුළ කියාත්මක කෙරෙන විවිධ යටි අරමුණු ඉටුකර ගැනීම සඳහා වැඩසටහන් ඉදිරිපත් කිරීමේ දී සිංහල - ඉංගීසි අච්චාරු බසක් භාවිත කරන ආකාරය අපට නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැබේ. එය විටෙක ගුවන් විදුලිය සහ රූපවාහිනිය නරඹන අසන පුද්ගලයන්ට අර්ථබාධා ද ගෙන එයි.  
ෆේස්බුක්, ට්විටර්, වයිබර් සහ අන්තර්ජාලය වැනි නවමාධ්‍ය තුළ වැඩිවශයෙන් දක්නට ඇත්තේ “සිංග්ලිෂ්” වූ භාෂා රටාවකි. එසේ ම එම භාෂා භාවිතය කෙටි සහ සංකේතාත්මක ස්වරූපයෙන් යුක්ත ය. 
වෙනස් වීම යන්න ලොව සියල්ලන්ට ම පොදු වූ දහමකි. භාෂාව සම්බන්ධව ද එහි විකල්ප නොමැත. භාෂාව ද මොහොතක් පාසා වෙනස් වේ. භාෂා පරිණාමය ලෙස හඳුන්වන්නේ එම වෙනස්වීම යි. එහෙයින් එක් එක් කාලවල දී නිර්මාණය වන භාෂා රටාවන් දෙස වපරැසින් බැලීම උචිත වන්නේ නැත. මන්ද භාෂා පරිණාමය යන්න ස්වභාවික සංසිද්ධියක් වන බැවිණි.

මනමේ නාටකයේ ඇති අන්තර් සංස්කෘතික ලක්‍ෂණ







     සරත්චන්ද්‍ර වනාහි සිංහල නාට්‍ය කලාවට විශිෂ්ටත්වයක් ගෙනා පුද්ගලයෙකි. එසේ ම නූතන සිංහල සංස්කෘතිය ශක්තිමත් කලාත්මක පදනමක් මත රඳවන්නට සරත්චන්ද්‍ර නාට්‍යයන්ගෙන් සිදුවුණු සේවාව සුළුපටු නැත. අද ජීවත්වන්නන් තුළ දේශීය කලාව සහ සංස්කෘතිය පිළිබඳ ඇල්මක් උපදවන තරමටම ඔහුගේ විශිෂ්ට නාට්‍යයන් සංස්කෘතිය තුළ ස්ථාපිත ව ඇත.
     සරත්චන්දයන්ගේ නාට්‍ය අතරින් මනමේ සහ සිංහභාහු නාට්‍ය ද්විත්වයට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. මනමේ නාටකය වනාහි දේශීය නාට්‍ය සම්ප්‍රදායේ අග්‍රස්ථානය යි. පර්යේශනාත්මක සහ එමෙන් ම දේශීය සම්ප්‍රදායක් ගොඩනැගීම අරමුණු කොටගත් ලාංකීය නාට්‍ය කලාව තුළ සම්භාවනාවට පාත්‍ර වූ නාට්‍යයක් ලෙස ද “මනමේ” හැඳින්විය හැකිය.
   මනමේ නාටකය පෝශණය වීමෙදී දේශීය මෙන් ම විදේශීය වශයෙන් පවතින විවිධ සංස්කෘතික අංගයන් රැසක් පාදක කරගෙන ඇත. එම සංස්කෘතික අංගයන් මෙසේ ය.
         
1 බෞද්ධ සංස්කෘතියේ එන ජාතක කතාවක් පාදක කර ගැනීම.
2 කෝට්ටේ කාව්‍ය සම්ප්‍රදාය.
3 ජපානයේ රෂෝමාන් චිත්‍රපටයේ ලක්‍ෂණ.
4 දේශීය දකුණු ඉන්දීය සංගීත.
5 දකුණු ඉන්දීය නාට්‍ය ආභාසය.
6 බටහිර සහ චීන නාට්‍ය ආභාසය.

බෞද්ධ සංස්කෘතියේ එන ජාතක කතාවක් පාදක කර ගැනීම
   මනමේ කතාවේ ආරම්භය කවදා සිදුවූවෙදැයි නිෂ්චිත නැතිමුත් කුරුණෑගල රාජධානි සමයේ ලියවුණූ සිංහල ජාතක පොතෙහි එන චුල්ල ධනුද්ධර ජාතකය මනමේ කතාවට පාදක වූ බව හඳුනාගත හැකිය. ලංකාවේ මෑත අතීතයේ සිට ජනප්‍රිය වූ ජාතක කතා අතර චුල්ල ධනුද්ධර ජාතකය, චන්ද කින්නර ජාතකය, වෙස්සන්තර ජාතකය යනාදිය බොහො නාට්‍ය සදහා මූලාශ්‍ර විය. මේ අතරින් ද අද දක්වා ප්‍රබල ලෙස ජනප්‍රිය වී ඇත්තේ චුල්ල ධනුද්ධර ජාතකය යි. ජන නාට්‍යවලට සීමා වූ මනමේ කතාවේ හෝ පසුකාලීන නාට්‍යවල හෝ එන මනමේ නැමැති චරිතයක් ජාතක කතාවේ නොඑන මුත් කුමාරයෙක් නම් සිටියි. මනමේ නාටකයේ දී එම චරිතයට මනමේ නම නිර්මාණය වන්නේ ගැමි කලාකරුවන් අතින් ය.
      මනමේ නාටකයට මුල් වූ ජාතක කතාව අනුරාධපුර යුගයේ සිට මෙරට පොදු ජනයා අතර පවතින්නට ඇත. බොහෝ අටුවා සිංහලෙන් තබා පසුව පාලි බසට නගන ලද බව දක්වා තිබීමෙන් මේ කතා පුවත දීප වාසින්ට මෙන්ම සෙසු ලෝක වාසීන්ට ද ප්‍රයොජනවත් වූ බව එයින් ගම්‍ය වේ. එසේ ම ජාතක කතාවල අනුභූතීන් ලොව බොහෝ අයට ද පොදු වූ බව ද ගම්‍ය වේ. මනමේ නාටකය පමණක් නොව කවි චිත්‍රකතා ආදී විවිධ මාධ්‍ය බිහි කළාවූ කලාකරුවන්ගේ අරමුණ වූයේ ද ජාතක කතාවලින් නිරූපනය වන පහන් සංවේග ගුණය ජනයා අතර ප්‍රචලිත කිරීම  බව ද පැහැදිලි වන කරුණකි.
              මෙම නාටකයට මුල් වූ චුල්ල ධනුද්ධර ජාතකය වනාහි ස්ත්‍රියක් කෙරේ ලෝභයෙන් උකටලිව විසූ භික්‍ෂුවක් අරඹයා දේශනා කරන ලද්දකි. ස්ත්‍රී ලෝභය නිසා චුල්ල ධනුද්ධර කුමරු අනර්ථයට පැමිණි බව දැක්වීම ජාතක කතා කරුගේ අභිප්‍රාය විය.    
මනමේ නාටකයට චුල්ල ධනුද්ධර ජාතකය පාදක කරගත්තද ජාතක කතාවට සීමා නොවී අනපේක්‍ෂිත ලෙස පුද්ගලයකුට විය හැකි අභාග්‍ය සිදුවීම් පිළිබඳ ප්‍රේක්‍ෂකයාට අවධාරනය කිරීමත් ජීවිතයේ අනිත්‍ය මෙනෙහි කිරීමට ප්‍රේක්‍ෂකයාට තුඩු දීමත් අරමුණු කරගෙන ඇත.

කෝට්ටේ කාව්‍ය සම්ප්‍රදාය
               ජාතක කතාවට අමතර ව සරචන්ද්‍රයන් විසින් සිංහලයේ එක කාව්‍ය ධාරාවකට ද මනමේ නාටකය තුළ මූලිකත්වය ලබා දී ඇත. ශ්‍රී රාහුල හිමියන්ගේ කවි බස හා කවි යෙදුම් එලෙසින් ම පාහේ මනමේ නාටකය තුළ දැකගත හැකිය. සැළලිහිණියේ එන “ලප නොමවන් සඳ”යන යෙදුම පාදක කරගෙන මනමේ නාටකයේ ඇති ගීතය මීට නිදසුනකි. ශ්‍රී රාහුල හිමිගේ වචන පමණක් නොව රූපකාර්ථවත් යෙදුම් ද නාටකයේ නව අර්ථදීම් සඳහා භාවිත කරයි

දකුණු ඉන්දීය සහ දේශීය සංගීත ආභාසය
              නාඩගම් නාට්‍ය සම්ප්‍රදාය දකුණු ඉන්දීය තේරුක්කුත්තු නමැති ගැමි නාටකය ආභාසයෙන් සකසා ගන්නා ලද්දැක් යැයි කියැවේ.   එබැවින් නාඩගම් නාට්‍ය සම්ප්‍රදාය තුළ කර්ණාටක සංගීත සමප්‍රදායෙන් සැකසුණු ගීත බොහෝමයක් දක්නට ලැබේ.නාඩගම් මුළුමනින් ම රඟදක්වනු ලබන්නේ තාල රහිත පද්‍ය ගායන සහ තාලයෙන් යුක්ත සින්දු ද පාදක කරගෙන ය. පද්‍ය රචනා කොට ඇත්තේ දෙමළ විරිත් ඇසුරින් ය. මනමේ නාඩගම තුළ ප්‍රබල ව යොදාගෙන ඇත්තේ විරුත්තම් යැයි දෙමළෙන් හඳුන්වනු ලබන විරිඳු වෘතය යි.නාඩගම් සම්ප්‍රදායේ එන ගීත ගායනා සඳහා යොදාගෙන ඇත්තේ ද්‍රවිඩ දෙමළ බෙරයට නෑකම් කියන එහෙත් දේශීයව නිර්මාණය කරන ලද මද්දලය යි. දේශීය ව නිර්මාණය වූ මෙම භාණ්ඩය ධ්වනි ගුණයෙන් ද දෙමළ බෙරයේ හඬට සමාන ය.
           මද්දලයෙන් වයන තාල පදනම් කර ඇත්තේ ද ද්‍රවිඩ වචනවලට සමානකම් දක්වමිනි. එනම් පසන්, කීර්තනම්, වඩිමුඩි, තංගපාට යනාදිය මද්දලයෙන් වයන තාල පද වේ. නාඩගම් සංගීතය දකුණු ඉන්දීය ආභාසයක් ගත්මුත් ගැමි ගායකයන් විසින් ගායනා කළ හෙයින් සිංහල වචනවල උච්චාරණයට අනුව ඊට දේශීය ගායනා ශෛලියක් ලැබී ඇත. එසේ ම නාඩගම්වල දී ඇතැම් පද්‍ය කොටස් ඇද පැද ගායනා කිරීමේ ක්‍රමය සිංහල ගැමි ගී හා ගායනා ආභාසය හඳුනාගත හැකිය.මෙම ගායන ශෛලිය මහනුවර යුගයේ දී කවිකාර මඩුවේ සංගීත ශිල්පීන්ගෙන් ලැබුණු තවත් දායාදයක් වශයෙන් ද හඳුන්වයි.

දකුණු ඉන්දීය නාට්‍ය ආභාස  
   නාඩගම් ශෛලිය තුළ ඇති විවිධ කොටස් ද්‍රවිඩ නම් වලින් සඳහන් වී ඇත. එනම් තර්ගය, තෝඩායම, ඉන්නිසය, උරුට්ටුව වැනි වචන ද්‍රවිඩ ආභාසයට හුරු බව ඒවා කියැවෙන ආකාරයෙන් ම පෙනේ. රංග සම්ප්‍රදාය තුළ යොදාගන්නා ඇඳුම් පැළඳුම් ද බොහෝ විට දකුණු ඉන්දීය ඇඳුම් පැළඳුම් වලට සමාන ය. එසේ ම නාඩගම්වල දී පොතේ ගුරා විසින් කවියකින් චරිත හඳුන්වා දෙයි. මෙම ලක්‍ෂණය දකුණු භාරතයේ කථකලී නාටකයෙහිත් වෙනත්  දකුණු භාරතීය නාටකයන්හිත් අනුගමනය කරන්නකි.
බටහිර සහ චීන නාට්‍ය ආභාසය
    නාඩගම් ශෛලිය මුළුමනින් ම පාහේ ගීතයෙන් ඉදිරිපත් වන හෙයින් මෙම නාට්‍ය බටහිර ඔපෙරා නමින් හැඳින්වෙන ගීත නාට්‍ය විශේෂයටත් පීකිං ගීත නාට්‍ය විශේෂයටත් සමාන කළ හැකි ය. බටහිර ඔපෙරාවන්හි නාට්‍ය රසය මුළුමනින් ම වාගේ ප්‍රකාශ වන්නේ සංගීත මාර්ගයෙනි. එහෙත් සිංහල නාඩගම්වල ඒ ඒ අවස්ථාවන්ට උචිත ලෙස සංගීතය යොදාගන්නා නමුත් නාට්‍ය ධර්මී ආංගික හා ස්වභාවික අභිනය ද රස නිෂ්පත්තිය සඳහා බෙහෙවින් උපයෝගී කරගනී.
 පොදුවේ ඔපෙරා ගණයේ ලා සැළකිය හැකි වුව ද රංග ශෛලිය අතින් සළකන විට එය වඩාත් සමාන වන්නේ චීන ගීත නාටකයට ය.
      ඒ ඒ අවස්ථාවන්ට උචිත පරිදි යොදාගත හැකි නාට්‍යමය සංගීතයක් චින නාටකයෙහිත් ඇතිමුත් එහි මුද්‍රා හා අනුරූපණ ද සංකේතාත්මක නැටුම් ද බෙහෙවින් ප්‍රයෝජනයට ගනි. නාඩගමෙහි මෙන්  චින නාටකයෙහි ද නොයෙක් පාත්‍රයන් රංග භූමියට ප්‍රවේශ වන විට ඔවුන්ට නියමිත වූ ගමන් විලාසයන් ඇත.