කවිකම යනු කිසිවකුත් සහජයෙන් ලබන වාසනා මහිමයකි. එම වාසනා මහිමය සාගර පළන්සූරිය කිවිඳුනට ද මනා ලෙස උරුම වී තිබිණි. ලාංකේය කාව්‍ය යුග පරම්පරාවේ කොළඹ යුගයේ දෙවෙනි අදියරේ කීර්තිමත් මෙන් ම ජනප‍්‍රසාදයටල බුහුමනට පාත‍්‍ර වුණු සුවිසෙස් වූ කවි මුතු කැටයක් ලෙස සාගර පළන්සූරිය නාමය දිදුල යි. සොභාදහමට පෙම් බැඳි ගැමි දිවියේ ඇස ගිය තැන් එතුමාගේ ප‍්‍රතිභාවේ සියුම් හදගැස්ම ස්පර්ශ කිරීමට සමත් ව ඇත.
සිංහල සහ ඉංග‍්‍රීසි භාෂාවන් පිළිබඳ හසල දැනුමකින් පරිපූර්ණ වූ එතුමා බටහිර කවීන්ගේ ආභාසය තුළින් කාව්‍ය රචනා කොට රසිකයන් හට තිළිණ කළේ ය. එනිසා ම ලාංකේය රසිකයන්ට රෝමාන්තික වාදය මෙන් ම සොභාසහම් වාදය අනුව නිර්මාණය වුණු කවි රස විඳීමේ භාග්‍යය උරුම විය.
පරස්පරතාවකින් තොර ව යුගයෙන් යුගයට රසෝද්දීපනය ගෙන එන එතුමන්ගේ කාව්‍ය රචනා අතර “සුදෝ සුදු” කවි පෙළට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. “සුදෝ සුදු” කෘතිය බිහිවූයේ පරිවර්තන කෘතියක් ලෙසිනි. ඒ බටහිර කවියෙකු වූ ඇල්ෆ‍්‍රඞ් ලෝස් මිල්ටන් කවියාගේ “ඊනොක්” (Enoc Arden) කෘතිය ඇසුරු කරගෙන ය. බටහිර නිර්මාණයක් වුව ද පළන්සූරිය කිවිඳුන් විසින් එය අපේකමට හරවා ලාංකේය කාව්‍ය ලෝලින්ට මනා රසවින්දනයකට ඉඩ සළසා දී තිබේ.
මෙය කවි කතාවක් ලෙස හඳුන්වාදීම වඩාත් උචිත ය. සුන්දර ගම්බද පෙදෙසෙක දිවි ගෙවන හීන් මැණිකේ‚ ටිකිරි සහ අදිරි යන ගැමි දරුවන් අතර මිතුදම මෝරා වැඩෙමින් තරුණ වියට පැමිනෙද්දීත් තුන්කොන් පේ‍්‍රමයක් බවට හැරෙද්දීත් එය ඔවුන්ගේ ජීවිතවල ඇතිකරවන පෙරළිය සුදෝසුදු තුළින් ඉස්මතු කරයි. කෘතියේ ආරම්භක කවියෙන් ම දැකිය හැක්කේ නිහැඩියාව තුළින් මැවෙන පිටිසරබද පරිසරයක අපූර්වත්වයකි.
ගොඩ මඩ දෙකම සරුසාරය පල බරය
කටුරොද ගම්මාන තරමක පිටිසරය
එ් ගම මැදින් ගලනා ග`ග මනහරය
කඩමණ්ඩිය පිහිටියේ ගම කෙළවරය
විනෝසාස්වාදය විඳීමට වෙනත් කලා මාධ්‍යයන් විරල වූ යුගයක මෙවන් සරල කවි පද රස විඳීමට බොහෝ රසික පිරිස් පෙළඹුණහ.
මල්හාමි‚ කාලකන්නියාල පිළිරුව‚ කන්දෙගෙදර‚ විසිවුණු තරු‚ උතුරෙන්‚ ධීවර ගීතය‚ කැළණි විත්ති‚ අපේ ගම ආදී කෘති එතුමන්ගේ පන්හිඳෙන් රචනා වූ තවත් නිර්මාණයන් කිහිපයකි. තව ද කණ උන්දැ නම් වූ ඔහුගේ නිර්මාණය තුළින් ද අත්විඳීමට ලැබෙන්නේ සමාජයේ පැවති මෙන් ම පවත්නා දිළිඳුබව හා සමාජ විෂමතාව පිළිබඳ යි.
ධීවර ගීතය නම් ජනප‍්‍රිය නිර්මාණය තුළින් පිළිිබිඹු වන්නේ මුහුදු ගිය සිය සැමියා පිළිබඳ ධීවර බිරිඳක තුළ පවත්නා අපරිමිත සංවේදතාවයි. මුහුදු රළ අතර සිය ජීවිතය සමග පොරබදිමින් ජීවත්වන්නට ධීවර වෘතියෙහි නියැලෙන තම සැමියා ගැන හුදකලාව වෙසෙන ඇයට ඇත්තේ දැඩි බියකි. ඇගේ හැගීම් අතිශ්‍යය සසල ය. මෙම කවි පෙළ තුළ පැරණි සම්ප‍්‍රදායික ජන කවියෙහි සෙවනැල්ල දක්නට ලැබේ. මෙහි ඇතැම් තැනක දී යශෝදරාවතෙහි එන පදවැල් අපට මඳකට සිහිපත් කරනු ඇත.
පළන්සූරිය කිවිඳුන් යාපනය ප‍්‍රදේශයෙහි ගුරු සේවයෙහි නියැලුණු යුගයේ දී ලියන ලද “උතුරෙන්” කවි පෙළ ද කිසියම් මානව සහෘදත්වයක ඉගි ගෙනහැර දක්වයි.
කවියට පමණක් සීමා නොවුණු මෙතුමා එයට අමතර ව වෙනත් ග‍්‍රන්ථ නිර්මාණයේ ද නියැලිණි. ඔහු jungle tide නම් කෘතිය “වන ප‍්‍රවාහය” නමින් පරිවර්තනය කළේ ය. “මා දුටු අපරදිග” නමින් ද තවත් කෘතියක් ඔහු සිංහලයට හැරවීය. ඔහුගේ ව්‍යාකරණ දැනුම ද අපමණ ය. “පද නීතිය” නමින් ඔහු රචනා කළ කෘතිය හරහා එය මනාව පැහැදිලි වේ.
පළන්සූරිය කිවිඳුන් කලක්‚ කළල්ඇල්ලේ ආනන්ද සාගර නමින් පැවිදි දිවියක් ගෙවූ අතර එහිදී භාවිත වූ නමෙහි මුලකුරු සංක්‍ෂිප්ත කිරීමෙන් “කේයස්” යන ආරූඪ නාමයෙන් ප‍්‍රසිද්ධියට පත් වූහ. එදා මෙදා තුර කේයස් යන නාමය එලෙසින් සාහිත්‍ය ලොකට තුළ ප‍්‍රචලිත වී තිබේ.
No comments:
Post a Comment