Saturday, July 22, 2017

ගම්වලට නම් පටබැඳුණු හැටි

අතීතියේ දී මෙරට පැවතියේ කෘෂි කාර්මික ජීවන රටාවකි. එහිදී ගොවිතැන පුරාණ සිංහලයාගේ ජීවිතය හා සමාන විය. ගොවිතැන නිසා අන්‍යෝන්‍ය වශයෙන් සාමූහිකත්වය ඇති විය. සාමූහිකත්වය හේතුවෙන් ගම්මාන බිහි විය. මෙකී ගම්මානවලට පැරැන්නෝ සිය පරිසරය හා බැඳි ජීවන ක‍්‍රමය ඇසුරින් නම් තැබී ය. වැව්-අමුණු‚ කමත‚ හේන්‚ කඳු‚ පර්වත මුල් කරගෙන ගම්වලට නම් ඇති වීය. එසේ ම කිසියම් ඓතිහාසික සිදුවීමක් පාදක කරගෙන ද ගම්වල නම් නිර්මාණය වී තිබේ. ඇතැම් නම් නිර්මාණය වූ ආකාර පිළිබඳ ජනප‍්‍රවාද කිහිපයන් ම තිබේ. එබැවින් බොහෝමයක් ගම්වල නම් අරුත්බර ය. මේ අන්දමට මෙරට සැම ගමක ම ප‍්‍රදේශයක ම නාමයන් නිර්මාණය වීමට අදාල හේතුවක් ඇත. ඒ ගැන කතාවක් ඇත. ඉන් කිහිපයක් මෙසේ ය. 

වත්තල
   මෙය කොළඹට ආසන්න නගරයකි. වත්තල යන නාමයේ නිර්මාණය පිළිබඳ මත කිහිපයක් ම පවතී. “වස්ත‍්‍ර ශාලාව” යන්න පසු කාලීනව “වත් + හල” වී පසුව එය වත්තල බවට පත් වූ බව එක් මතයකි. ඇතැමුන් පවසන්නේ “වස්තු + ශාලාව” යන්න වත්තල වූ බවයි. එසේ ම වක‍්‍රාකාර වූ තලයක් ලෙසින් භූමිය පිහිටි හෙයින් “වක් + තල” පසුව වත්තල ලෙසින් භාවිතයට නැගුණු බව ද අසන්නට ලැබේ. වත්තල යනු කඳු රහිත තැනිතලා භූමි ප‍්‍රදේශයකි. එබැවින් “වතු + තල” වත්තල වූවා යැයි ද ඇතමුන් විශ්වාස කරයි. එපමණක් නොව සිංහල රජවරු විසින් මහාසංගයා වහන්සේලා සඳහා දන්සැලක් හෙවත් බත් හලක් පැවැත් වූ බවක් එබැවින් මෙම ප‍්‍රදේශය “බත්හල” ලෙස හඳුන්වා ඇති අතර පසු කාලීනව එය වත්තල බවට පත් වී ඇතැයි ද පැවසේ.

වැලිමඩ
     වැලි මිශ‍්‍ර මඩ සහිත බිම් ප‍්‍රදේශයක් වූ හෙයින් “වැලිමඩ” නම් වූ බව කියැ වේ.

ලූණුගල
  ලූණු මෙන් කැඞී යන හිරිගල්වලින් ගහනය වු හෙයින් මෙම ප‍්‍රදේශය “ලූණුගල” නම් විය.

හාලි ඇළ
  මෙම ප‍්‍රදේශයේ මුල් පදිංචිකරුවන් “හාල් ගැරූ ඇළ” පසු ව “හාල් ඇල” වී “හාලි ඇළ” නමින් ප‍්‍රසිද්ධියට පත් වී ඇතැයි කියැ වේ.

කතරගම
  කතරගම යන නාමයේ නිර්මාණය පිළිබඳ මත කිහිපයක් ම පවතී. රන්කිහිරිය ගස් බහුල ග‍්‍රාමය බසරාගම ලෙසත් පසුව එය “කදරගම” ලෙසත් කල් යත් ම එය “කතරගම” ලෙසත් ව්‍යවහාරයට පැමිණ ඇත. එසේ ම ක්‍ෂතී‍්‍රයන් විසු පෙදෙස “ක්‍ෂතී‍්‍රය ග‍්‍රාම” ලෙසත් පසුව එය “කදිරගම” ලෙසත් අවසන කතරගම බවටත් පත් වූ බව කියැ වේ.

මොණරාගල
  මෙහි පුරාණ නාමය වන්නේ “අමරුප්පල” යි. මොණරෙකු ආකාරයෙන් සෑදුණු පර්වතයක් පිහිටි ප‍්‍රදේශය මොණරාගල ලෙස ව්‍යවහාරයට පැමිණ තිබේ.

හපුතලේ
  හපුතලේ යන්න “ඔප්පුතෙලෙ” යල ද්‍රවිඩ වදනින් බිඳී ආවක් බව පැවසේ. ඔප්පුතෙලෙ යනු කඳු මුදුනේ සමතලා බිම යන්න බව ඇතැම් උගතුන්ගේ මතය යි.  හපුතලේට පෙර පැවති නම “රන්ගිරි කන්ද” බව සිංහල ෂබ්ද කෝෂයේ කතෘ ආචාර්ය පුංචි බණ්ඩාර සන්නස්ගල මහතා පෙන්වා දෙයි. රන්ගිරි කන්ද යනු “තංගමෙලෙ” යන ද්‍රවිඩ වචනායන් බිඳී ආවක් බව ඔහුගේ මතය යි.
   ඌවේ ඉතිහාසය නම් කෘතිය ලියූ පන්ඩිත නාවුල්ලේ ධම්මානන්ද හිමියෝ සපු වෘක්‍ෂවලින් යුතු කඳු මුදුනක් ඇති නිසා මෙම ප‍්‍රදේශයට හපුතලේ යනුවෙන් නම් කළ බව සඳහන් කර ඇත. මීට තවත් මතයක් නම් මහා පරාක‍්‍රමභාහු කල විසූ සංඛ මහාමාත්‍යවරයාගේ වාසභූමි ප‍්‍රදේශය “සංඛත්තල” ලෙසත් පසුව එය “සක්තල > හක්තල > හකුතල > හපුතල” වූයේ යැයි යන්නයි.

අලව්ව
  අලව්ව යනු කුරුණෑගල දිස්ත‍්‍රික්කයට අයත් නගරයකි. අතීතයේ දී අලවුව පිහිටි ප‍්‍රදේශයේ දී එක්තරා උපාසකයෙක් විසින් රහතන් වහන්සේලාට අල වර්ගයක් තම්බා දී ඇත. අල වළඳන ලද රහතන්  වහන්සේලා විසින් මෙම දානයේ පුවත අනාගතයේ දී නොමැකී පවතිනු පිණිස මෙම ස්ථානයට “අලව” යන නාමය ව්‍යවහාරය කළ යුතු බව පවසා ඇත. එතැන් පටන් එම ස්ථානයට අලව ලෙස භාවිත වී ඇත පසු කාලීන ව එය අලව්ව යනුවෙන් ව්‍යවහාර වී තිබේ.

නුවර එළිය
     ජනප‍්‍රවාදයට අනුව නුවර එළිය නාමය නිර්මාණය වීමට පාදක වී ඇත්තේ රාම රාවණා කතා පුවත යි. සීතා කුමරිය පැහැරගෙන ආ රාවණා රජු ඇය නුවර එළිය හක්ගල අශොක උයනේ රඳා සිටි බවත් ඇය සොයා පැමිණි හනුමන්තා ඇතුලූ පිරිස ගම් දනව් ගිනි තබමින් මෙම ප‍්‍රදේශයට ඇතුලූ වූ බවත් ගිනි ගත් එම නුවර ඇතට දිස් වෙද්දී වෙනත් ප‍්‍රදේශවල සිටි පිරිස් මෙම ප‍්‍රදේශයෙන්  එන එළිය කුමක්දැයි කියා විමසිළිමත් වූ බවත් පැවසේ.  එසේ දිස්වුණු ආලෝකය නිසා මෙම ප‍්‍රදේශය නුවර එළිය නමින් ව්‍යවහාරයට නැගුණ බව කටවහරේ මතය යි.

අස්ගිරිය
 අතීතයේ දී ගම්පහ මිනුවන්ගොඩ මාර්ගයට නුදුරින් විශාල ගල් කුළක් දක්නට තිබී ඇත. එය “අශ්ව ගිරි” ලෙස එකල හඳුන්වා ඇත. යෝධ හස්තයකින් ඔසවාගෙන සිටින අශ්ව රුවක හැඩය ගත් මෙම ගල් කුළ නිසා එම ප‍්‍රදේශය “අශ්ව තිරිය” නම් වී පසුව අස්ගිරිය ලෙස භාවිතයට පැමිණ ඇත.



 

No comments: