Friday, July 7, 2017

ජාතක කතා පොතින් පෝෂිත ගීත සාහිත්‍යය


    ගීතයකින් හැගිම් දනවන ආකාරය සෙසු සාහීත්‍යාංගයන්ට වඩා සුවිසෙස් වේ. ඒ‚ ගීතය තුළ භාෂාව විශිෂ්ට ලෙස භාවිත කිරීමත්‚ එකී භාෂාවෙන් ඉස්මතු කෙරෙන අර්ත සෞන්ර්දයත්‚ යොදා ගන්නා සුලලිත ආකෘතියත්‚ ගේය පද සංයෝජනයත්‚ සංගීත රචකයා විසින් නිර්මිත නාද සෞන්දර්යයත් මෙන් ම ගායකයාගේ සුගායනයත් යන සියල්ලන්ගෙන් මනාව සංකලකය වී තිබීම යි.
  ගීතයක අරුත් සෞන්දර්යය මතු කරලීමට රචකයා ඊට පාදක කරගන්නා වස්තු විශය අත්දැකීම ප‍්‍රධාන තැනක් උසුල යි. අරුත් සම්පන්න නිර්මාණයක් බිහිකරලීමට නම් ගේය පද රචකයා පාරම්පරික ඥානයෙන් පොහොසත් විය යුතුය. දැනුම‚ අත්දැකීම්‚ හැගීම් දැනීම් ඔස්සේ හඹා යා යුතුය. එහිදී නිර්මාණකරුවකු පරිහරණය කළ යුතු දැනුම් උල්පතක් වශයෙන් අපගේ සම්භාව්‍ය සාහිත්‍යය දැක්විය හැකිය.
      පාරම්පරික ඥානය පමනක් නොව දැනුමෙන් ආකල්පයෙන් ද සුපෝෂිත වීම පිණිස ඈත අතීතයේ විසූ බොහෝ නිර්මාණකරුවන් භාවිත කළ වැදගත් මූලාශ‍්‍රයක් වන්නේ පන්සිය පනස් ජාතක පොත් වහන්සේ ය. එය පාදක කරගෙන නිර්මාණය වූ විශිෂ්ට ගීත රැසක් අපේ ගීත සාහිත්‍යයට එක්ව තිබේ.
ජාතක කතා පොතෙහි එන චන්න කින්නර ජාතකය බොහෝ නිර්මානකරුවන් සිය නිර්මාණ සඳහා ආශ‍්‍රය කරගෙන ඇත. එම ජාතකය ලාංකේය ගැමි ජනයා ඉතා අනුවේදනීය ව රසවිඳි පෙම් පුවතකි. පේ‍්‍රමය මෙන් ම විරහව ද මෙම කතා පුවතින් ජනිත කරවාලයි. බොහෝ කවීන්ගේ නිර්මාණ සඳහා චන්න කින්නර ජාතකය මූලාශ‍්‍රය බවට පත් වන්නට එය මූලික හේතුවක් ව තිබේ.
 ප‍්‍රදීපා ධර්මදාස විසින් ගයන රත්න ශී‍්‍ර විජේසිංහයන් විසින් සඳකිඳුරු දා ඇසුරින් කළ නිර්මාණයක්  මෙහිදී හමුවේ.
                 සඳගිරි පව්ව කොහෙදෝ - මගේ සඳ කිඳුර කොහෙදෝ
                 මට කියන්න මා වැන්දඹු වුණා
                 චන්න කින්නරී මා
                 අපි ගෙයින් ගෙට යන ගමනේ
                 කුලී ගෙයක නැවතී කවි සින්දු කියා අත පෑවේ සාගින්දර ඇවිලී
                මහ කලූවර නුඹ කොහි ගෙන ගියාද හිමි සඳුනී
                නිල් වනන්තරේ ගිනි ගනීවී සුසුම් වලින් ඇවිලී
                නිල් අනෝතප්ත විල සිඳේ වී
                මගෙ සඳ කිඳුරා මටම දෙන්න - පින් ඇති වන සතුනී

        සමාජ විශමතාවන්ගෙන් පිරුණු ලෝකයක අභිරහස් ලෙස අතුරුදන් වූ සිය සැමියා වෙනුවෙන් උපන් වියොවින් හඩා වැළපෙන නූතන චන්නකින්නරියක් මෙම ගීතයෙන් අපට හමුවේ. සැමියාගේ අකල් වෙනවීම නිසා ඇය කෙතරම් අසරණ වනවාද යන්න කවියෙන් ඉස්මතු කරවාලයි.
   මනමේ නාටකය ඇතුලූ නව නිර්මාණ රැසකට ජාතක කතා පොතෙහි එන චුල්ල ධනුද්ධර ජාතකය ද මුල් ව තිබේ. මනමේ කුමර.‚ මනමේ කුමරිය මෙන්ම වැදි රජුගේ  දෘශ්ටි කොණයෙන් ලියැවුණු ගීත ගණනාවක් සිංහල ගීත සාහිත්‍යයේ පවතී. ස්වර්ණ ශ‍්‍රී බණ්ඩාරයන් විසින් ලියා එඞ්වඞ් ජයකොඩි ගායනා කරන පහත ගීතය ඊට එක් නිදසුනකි.
           
       ඔබෙ රූසිරෙන් මන්මත් වී මම - නොකළෙමි අනුවනකම්
       මුලා වුණේ ඔබ මුලා නොවුණි මම - මනමේ කුමාරියේ
       ඔබ රූසිරෙන් ඔහු නැණ ගුණයෙන් - මාගේ විජිතය කෙලසී යනු ඇත
       සටන් වැදුණි මම සටන් වැදුණි මම - මනමේ කුමාරියේ
       හැඩිදැඩි අපහට හුරු වූ වන ගැබ - අපගේ උරුමය රකිනා රිසියෙන්
       සටන් වැදුණි මම සටන් වැදුණි මම - මනමේ කුමාරියේ

       ගීතය මතුපිටින් චුල්ලධනුද්ධර කතාව නිරූපණය කළ ද සැබවින් ම මෙම ගීතයෙන් ධ්වනිතාර්තවත් කරනුයේ කාලීනව සමාජයට සිදුව ඇති විපතයි. එතෙරින් එන විවිධ අරුමෝසම් හමුවේ විනාසයට පත්වන ලාංකේය සංස්කෘතිය රැක ගැනිමට මුල් වූවෙකු අපට නොසිටියේ ය. එහෙත් වනයේ වනචාරී සංස්කෘතියට පිවිසෙන මනමේ කුමර-කුමරි දෙපළගෙන් වනයට විය හැකි විපත වැදි රජුට වැටහුණි. “ඔබ රූ සිරෙන් ඔහු ණැන ගුණෙන් මාගේ විජිතය කෙලසී යනු ඇත” ලෙස කවියා එය දක්වාලයි. වැදි රජු සටන් වැදුනේ ඔවුන්ගේ උරුමය රැක ගැනීමට ය. ගීතය හරහා වැදි රජුගේ චරිතය වෙනස්ම ආකාරයකට අපූර්ව අර්ථකථනයක් මතු කරලීමට ස්වර්ණ ශ‍්‍රී බණ්ඩාරයන්ගේ ප‍්‍රතිභාපූර්ණ කවීත්වය සමත් ව තිබේ
  හිසෙහි නර කෙසක් දැක ජීවිතය කෙරේ කලකිරී තපසට ගිය රජෙකු පිළිබඳ කියැවෙන මඛාදේව ජාතකය ගැමි ජනතාව අතර බෙහෙවින් ප‍්‍රචලිත ය. ඒ ඇසුරින් ද ගීත රැසක් බිහි වී තිබේ. මඛාදේව රජුගේ චරිතය ඇසුරින් බණ්ඩාර ඇහැළියගොඩ විසින් ප‍්‍රතිනිර්මිත පහත ගීතය ඉන් එකකි.
 
 නර කෙස දැක දුක් පසක් කොට - ගිහිගෙයින් නික්මෙනු කෙලෙස
 කල්පයක කල් ගෙවා නොනිමෙන - මහමෙරක් බර ඇත හිසේ
 අදරින් හැදු වැඩු මා පියන් - පීඩිත ලෙස පසුවෙති පැළේ
 දෙටු දූවරු මල් දුනු අරන් - එනතෙක් හිඳිති තනි මල් මංසලේ
 මගුලැතු ඇවිත් දන නමන තෙක් - තව කී කලක් ඉන්නද බලා
 දුක නොදිනුවොත් උන් හා මියෙන්නෙමි - කුමකට මා පමණක් දිනා
   
      සමාජයේ ජීවත්වන්නන්ට අභිනිෂ්ක‍්‍රමණයේ දී ඇතිවන බාධාකම්කටලූ ගීතයෙන් සහෘදයන්ට සිහි ගන්වයි. තමා මෙතුවක් ගොඩනගාගත් බැඳීම් සබඳතා මෙන් ම තමා තම යැපෙන්නන් සුරක්‍ෂිත කරලීමට තම හිස තම පැටවී ඇති වගකීම ද ගීතයෙන් ගෙන එයිග. තම පවුලේ සෙසු සාමාජිකයන් නිවසේ තනි වෙද්දී ඔවුන්ගෙන් තමන්ගෙන් විය. යුතු යුතුකම් ඉටු නොවන කළ තමන්ට විමුක්තියක් නොමැති බව කවියා පවස යි. ගීතයේ එන සිය විමුක්තිය සිය පවුල වෙනුවෙන් කැප කළ පියෙකුගේ වදන්වලට සනත් නන්දසිරි විසින් පන පොවයි.

     උම්මග්ග ජාතකයෙහි අතුරු කතාවක් වන සිරි කාලකන්නි පුවත ඇසුරින් රත්න ශ‍්‍රී විජේසිංහයන් විසින් ලියා ඇති  “අජානිය ස්කූටර් තුරගා පිට වඩිනා” යන ගීතය ද සුවිශේෂී වේ. එම ගීතයට පිංගුත්තරගේ චරිතය ඇසුරු කරගෙන තිබේ. උදුම්බරා දේවිය වර්තමාන පෙම්වතියකට උපමා කෙරෙන අතර මෙකල දක්‍ෂ ශිෂ්‍යයකුට අත්වන ඉරණම ද කියාපායි. දක්‍ෂ ශිෂ්‍යයෙකු විරැකියාවෙන් සිටින මොහොතක පැරණි පෙම්වතිය හමුවීමෙන් ඇතිවන විරහව ගීතයෙන් මනාව නිරුපණය කර තිබේ.









No comments: