Sunday, May 14, 2017

මනමේ නාටකයේ ඇති අන්තර් සංස්කෘතික ලක්‍ෂණ







     සරත්චන්ද්‍ර වනාහි සිංහල නාට්‍ය කලාවට විශිෂ්ටත්වයක් ගෙනා පුද්ගලයෙකි. එසේ ම නූතන සිංහල සංස්කෘතිය ශක්තිමත් කලාත්මක පදනමක් මත රඳවන්නට සරත්චන්ද්‍ර නාට්‍යයන්ගෙන් සිදුවුණු සේවාව සුළුපටු නැත. අද ජීවත්වන්නන් තුළ දේශීය කලාව සහ සංස්කෘතිය පිළිබඳ ඇල්මක් උපදවන තරමටම ඔහුගේ විශිෂ්ට නාට්‍යයන් සංස්කෘතිය තුළ ස්ථාපිත ව ඇත.
     සරත්චන්දයන්ගේ නාට්‍ය අතරින් මනමේ සහ සිංහභාහු නාට්‍ය ද්විත්වයට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. මනමේ නාටකය වනාහි දේශීය නාට්‍ය සම්ප්‍රදායේ අග්‍රස්ථානය යි. පර්යේශනාත්මක සහ එමෙන් ම දේශීය සම්ප්‍රදායක් ගොඩනැගීම අරමුණු කොටගත් ලාංකීය නාට්‍ය කලාව තුළ සම්භාවනාවට පාත්‍ර වූ නාට්‍යයක් ලෙස ද “මනමේ” හැඳින්විය හැකිය.
   මනමේ නාටකය පෝශණය වීමෙදී දේශීය මෙන් ම විදේශීය වශයෙන් පවතින විවිධ සංස්කෘතික අංගයන් රැසක් පාදක කරගෙන ඇත. එම සංස්කෘතික අංගයන් මෙසේ ය.
         
1 බෞද්ධ සංස්කෘතියේ එන ජාතක කතාවක් පාදක කර ගැනීම.
2 කෝට්ටේ කාව්‍ය සම්ප්‍රදාය.
3 ජපානයේ රෂෝමාන් චිත්‍රපටයේ ලක්‍ෂණ.
4 දේශීය දකුණු ඉන්දීය සංගීත.
5 දකුණු ඉන්දීය නාට්‍ය ආභාසය.
6 බටහිර සහ චීන නාට්‍ය ආභාසය.

බෞද්ධ සංස්කෘතියේ එන ජාතක කතාවක් පාදක කර ගැනීම
   මනමේ කතාවේ ආරම්භය කවදා සිදුවූවෙදැයි නිෂ්චිත නැතිමුත් කුරුණෑගල රාජධානි සමයේ ලියවුණූ සිංහල ජාතක පොතෙහි එන චුල්ල ධනුද්ධර ජාතකය මනමේ කතාවට පාදක වූ බව හඳුනාගත හැකිය. ලංකාවේ මෑත අතීතයේ සිට ජනප්‍රිය වූ ජාතක කතා අතර චුල්ල ධනුද්ධර ජාතකය, චන්ද කින්නර ජාතකය, වෙස්සන්තර ජාතකය යනාදිය බොහො නාට්‍ය සදහා මූලාශ්‍ර විය. මේ අතරින් ද අද දක්වා ප්‍රබල ලෙස ජනප්‍රිය වී ඇත්තේ චුල්ල ධනුද්ධර ජාතකය යි. ජන නාට්‍යවලට සීමා වූ මනමේ කතාවේ හෝ පසුකාලීන නාට්‍යවල හෝ එන මනමේ නැමැති චරිතයක් ජාතක කතාවේ නොඑන මුත් කුමාරයෙක් නම් සිටියි. මනමේ නාටකයේ දී එම චරිතයට මනමේ නම නිර්මාණය වන්නේ ගැමි කලාකරුවන් අතින් ය.
      මනමේ නාටකයට මුල් වූ ජාතක කතාව අනුරාධපුර යුගයේ සිට මෙරට පොදු ජනයා අතර පවතින්නට ඇත. බොහෝ අටුවා සිංහලෙන් තබා පසුව පාලි බසට නගන ලද බව දක්වා තිබීමෙන් මේ කතා පුවත දීප වාසින්ට මෙන්ම සෙසු ලෝක වාසීන්ට ද ප්‍රයොජනවත් වූ බව එයින් ගම්‍ය වේ. එසේ ම ජාතක කතාවල අනුභූතීන් ලොව බොහෝ අයට ද පොදු වූ බව ද ගම්‍ය වේ. මනමේ නාටකය පමණක් නොව කවි චිත්‍රකතා ආදී විවිධ මාධ්‍ය බිහි කළාවූ කලාකරුවන්ගේ අරමුණ වූයේ ද ජාතක කතාවලින් නිරූපනය වන පහන් සංවේග ගුණය ජනයා අතර ප්‍රචලිත කිරීම  බව ද පැහැදිලි වන කරුණකි.
              මෙම නාටකයට මුල් වූ චුල්ල ධනුද්ධර ජාතකය වනාහි ස්ත්‍රියක් කෙරේ ලෝභයෙන් උකටලිව විසූ භික්‍ෂුවක් අරඹයා දේශනා කරන ලද්දකි. ස්ත්‍රී ලෝභය නිසා චුල්ල ධනුද්ධර කුමරු අනර්ථයට පැමිණි බව දැක්වීම ජාතක කතා කරුගේ අභිප්‍රාය විය.    
මනමේ නාටකයට චුල්ල ධනුද්ධර ජාතකය පාදක කරගත්තද ජාතක කතාවට සීමා නොවී අනපේක්‍ෂිත ලෙස පුද්ගලයකුට විය හැකි අභාග්‍ය සිදුවීම් පිළිබඳ ප්‍රේක්‍ෂකයාට අවධාරනය කිරීමත් ජීවිතයේ අනිත්‍ය මෙනෙහි කිරීමට ප්‍රේක්‍ෂකයාට තුඩු දීමත් අරමුණු කරගෙන ඇත.

කෝට්ටේ කාව්‍ය සම්ප්‍රදාය
               ජාතක කතාවට අමතර ව සරචන්ද්‍රයන් විසින් සිංහලයේ එක කාව්‍ය ධාරාවකට ද මනමේ නාටකය තුළ මූලිකත්වය ලබා දී ඇත. ශ්‍රී රාහුල හිමියන්ගේ කවි බස හා කවි යෙදුම් එලෙසින් ම පාහේ මනමේ නාටකය තුළ දැකගත හැකිය. සැළලිහිණියේ එන “ලප නොමවන් සඳ”යන යෙදුම පාදක කරගෙන මනමේ නාටකයේ ඇති ගීතය මීට නිදසුනකි. ශ්‍රී රාහුල හිමිගේ වචන පමණක් නොව රූපකාර්ථවත් යෙදුම් ද නාටකයේ නව අර්ථදීම් සඳහා භාවිත කරයි

දකුණු ඉන්දීය සහ දේශීය සංගීත ආභාසය
              නාඩගම් නාට්‍ය සම්ප්‍රදාය දකුණු ඉන්දීය තේරුක්කුත්තු නමැති ගැමි නාටකය ආභාසයෙන් සකසා ගන්නා ලද්දැක් යැයි කියැවේ.   එබැවින් නාඩගම් නාට්‍ය සම්ප්‍රදාය තුළ කර්ණාටක සංගීත සමප්‍රදායෙන් සැකසුණු ගීත බොහෝමයක් දක්නට ලැබේ.නාඩගම් මුළුමනින් ම රඟදක්වනු ලබන්නේ තාල රහිත පද්‍ය ගායන සහ තාලයෙන් යුක්ත සින්දු ද පාදක කරගෙන ය. පද්‍ය රචනා කොට ඇත්තේ දෙමළ විරිත් ඇසුරින් ය. මනමේ නාඩගම තුළ ප්‍රබල ව යොදාගෙන ඇත්තේ විරුත්තම් යැයි දෙමළෙන් හඳුන්වනු ලබන විරිඳු වෘතය යි.නාඩගම් සම්ප්‍රදායේ එන ගීත ගායනා සඳහා යොදාගෙන ඇත්තේ ද්‍රවිඩ දෙමළ බෙරයට නෑකම් කියන එහෙත් දේශීයව නිර්මාණය කරන ලද මද්දලය යි. දේශීය ව නිර්මාණය වූ මෙම භාණ්ඩය ධ්වනි ගුණයෙන් ද දෙමළ බෙරයේ හඬට සමාන ය.
           මද්දලයෙන් වයන තාල පදනම් කර ඇත්තේ ද ද්‍රවිඩ වචනවලට සමානකම් දක්වමිනි. එනම් පසන්, කීර්තනම්, වඩිමුඩි, තංගපාට යනාදිය මද්දලයෙන් වයන තාල පද වේ. නාඩගම් සංගීතය දකුණු ඉන්දීය ආභාසයක් ගත්මුත් ගැමි ගායකයන් විසින් ගායනා කළ හෙයින් සිංහල වචනවල උච්චාරණයට අනුව ඊට දේශීය ගායනා ශෛලියක් ලැබී ඇත. එසේ ම නාඩගම්වල දී ඇතැම් පද්‍ය කොටස් ඇද පැද ගායනා කිරීමේ ක්‍රමය සිංහල ගැමි ගී හා ගායනා ආභාසය හඳුනාගත හැකිය.මෙම ගායන ශෛලිය මහනුවර යුගයේ දී කවිකාර මඩුවේ සංගීත ශිල්පීන්ගෙන් ලැබුණු තවත් දායාදයක් වශයෙන් ද හඳුන්වයි.

දකුණු ඉන්දීය නාට්‍ය ආභාස  
   නාඩගම් ශෛලිය තුළ ඇති විවිධ කොටස් ද්‍රවිඩ නම් වලින් සඳහන් වී ඇත. එනම් තර්ගය, තෝඩායම, ඉන්නිසය, උරුට්ටුව වැනි වචන ද්‍රවිඩ ආභාසයට හුරු බව ඒවා කියැවෙන ආකාරයෙන් ම පෙනේ. රංග සම්ප්‍රදාය තුළ යොදාගන්නා ඇඳුම් පැළඳුම් ද බොහෝ විට දකුණු ඉන්දීය ඇඳුම් පැළඳුම් වලට සමාන ය. එසේ ම නාඩගම්වල දී පොතේ ගුරා විසින් කවියකින් චරිත හඳුන්වා දෙයි. මෙම ලක්‍ෂණය දකුණු භාරතයේ කථකලී නාටකයෙහිත් වෙනත්  දකුණු භාරතීය නාටකයන්හිත් අනුගමනය කරන්නකි.
බටහිර සහ චීන නාට්‍ය ආභාසය
    නාඩගම් ශෛලිය මුළුමනින් ම පාහේ ගීතයෙන් ඉදිරිපත් වන හෙයින් මෙම නාට්‍ය බටහිර ඔපෙරා නමින් හැඳින්වෙන ගීත නාට්‍ය විශේෂයටත් පීකිං ගීත නාට්‍ය විශේෂයටත් සමාන කළ හැකි ය. බටහිර ඔපෙරාවන්හි නාට්‍ය රසය මුළුමනින් ම වාගේ ප්‍රකාශ වන්නේ සංගීත මාර්ගයෙනි. එහෙත් සිංහල නාඩගම්වල ඒ ඒ අවස්ථාවන්ට උචිත ලෙස සංගීතය යොදාගන්නා නමුත් නාට්‍ය ධර්මී ආංගික හා ස්වභාවික අභිනය ද රස නිෂ්පත්තිය සඳහා බෙහෙවින් උපයෝගී කරගනී.
 පොදුවේ ඔපෙරා ගණයේ ලා සැළකිය හැකි වුව ද රංග ශෛලිය අතින් සළකන විට එය වඩාත් සමාන වන්නේ චීන ගීත නාටකයට ය.
      ඒ ඒ අවස්ථාවන්ට උචිත පරිදි යොදාගත හැකි නාට්‍යමය සංගීතයක් චින නාටකයෙහිත් ඇතිමුත් එහි මුද්‍රා හා අනුරූපණ ද සංකේතාත්මක නැටුම් ද බෙහෙවින් ප්‍රයෝජනයට ගනි. නාඩගමෙහි මෙන්  චින නාටකයෙහි ද නොයෙක් පාත්‍රයන් රංග භූමියට ප්‍රවේශ වන විට ඔවුන්ට නියමිත වූ ගමන් විලාසයන් ඇත.




10 comments:

My Diary said...

Ithamath wadagath lipiyak..godak sthuthi obata

සංහිඳ said...

Thnk u..

Kalana said...

Ithama wishishta lipiyk..wadagath karunu godakm danagnn labuna..bohomathm sthuthi..

kani said...

Godak watina lipiyak. Me wage watina lipi issarahatath liyanna sakthiya, wasanawa labewaa. Thank you.

සංහිඳ said...

Thank u..

සංහිඳ said...

Thnk u..😊

Unknown said...

ada kale hatiyata watina blog ekak. digatama karagena yanna nangi... Good luck...

සංහිඳ said...

thank u..

Unknown said...

Wedagath lipiyak.. obata jaya.. thawa honda lipi samaga hamuwemu

Unknown said...

Nice