Sunday, May 14, 2017

බස ආ මග....

             

                                                                                                                                                                             
       මිනිසා අන් අය සමඟ සිය අදහස් සිතුවිලි හුවමාරු කරගැනීමට පෙළඹෙන්නේ මව් කුස පිළිසිඳ ගත් දා පටන් ය. බිළිඳෙකුගේ පිළිසිඳ ගැනීමත් සමඟ එම බිළිඳා සිය මව සමඟ සිය සිතැඟි හුවමාරු කර ගනී. 
     මිනිසා යනු සාමූහික සත්වයෙකි. සාමූහිකත්වය දිගුකල් පවත්වා ගැනීමට මිනිසා සිය අදහස් තොරතුරු හුවමාරු කරගැනීම සිදු කරයි. ඊට භාවිත කෙරෙන ප්‍රධාන මෙවලම වන්නේ භාෂාව යි. මානවයා සෙසු සත්ව වර්ගයාගෙන් වෙන්කර  සංස්කෘතික සත්වයෙකු ලෙස හඳුනාගැනීමට මුල්වන ලක්‍ෂණ අතරින් ද භාෂාවට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. 
     මානව භාෂාවේ උපත මානව ශිෂ්ටාචාරයේ ආරම්භය තෙක් ම දිව යන්නකි. මුල් කාලීන මානවයාට සිය අදහස් හුවමාරු කරගැනීමට විධිමත් භාෂා රටාවක් නොතිබී ය. අංගචලන, ඉඟිබිඟි, කටහඬ වැනි පාථමික සන්නිවේදන විධි භාවිත කරමින් ඔවුන් සන්නිවේදනයේ යෙදුණි. විටෙකදී මෙකී සන්නිවේදන කාර්යය සඳහා ස්වභාවික පරිසරයේ ජීවි අජීවී වස්තූන් ද මුල් මානව පරිණාමීය අවධීන් තුළ බහුල ව භාවිත කළේ ය. දඩයම් කටයුතුවලදී තමන් මුහුනදුන් අත්දැකීම්, සංඥාා සහ සංකේත බවට පෙරලමින් මොවුහු තමන් වාසය කළ ගල් ගුහාවල චිත්‍රනය කළහ. විශ්වීය භාෂාවක් ලෙස සැලකෙන චිත්‍ර කලාවෙහි අක්මුල් වන්නේ මුල්කාලීන මානවයා විසින් අඳින ලද මෙකී ලෙන් සිතුවම් ය. 
     ලෙන් සිතුවම්වල ඉදිරි පියවරක් ලෙස ලේඛණ බස නිර්මාණය වේ. චීන ජාතික “සායිලුං” විසින් කඩදාසිය සොයා ගැනීම ලේඛණ ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයකි. 
      මිනිසා කායික සහ මානසික වශයෙන් පරිණාමීය ව ඉදිරියට යන ගමනේ දී නිර්මාණාත්මක චින්තනයේ දියුණුවට ද මග විවර වේ. සිය අදහස් සිතුවිලි සාම්පදායික ක්‍රමවේදයන්ගෙන් බැහැර ව වෙනස් ම ආකාරයකින් ඉදිරිපත් කිරීම සඳහා භාෂාව විවිධ රටාවන්ගෙන් භාවිත කිරීමත් සමඟ සන්නිවේදන කියාවලිය තුළ නිර්මාණාත්මක සන්නිවේදනය ලෙස වෙනම ම ධාරාවක් ගොඩ නැඟේ.  
ජනකවි, ජනකතා, ජනකීඩා, ජනනාටක යනාදී    ජන ශ්‍රැතිකාංග හරහා නිරූපණය වන්නේ ආදි මුතුනමිත්තන් සතු වූ නිර්මාණාත්මක භාෂා රටාවයි.        ජනශ්‍රැතිකාංගවල ආභාසයෙන් චිත්‍ර කලාව, නර්ථන කලාව, මූර්ති කලාව, මෙන් ම ගීත, කවි, කතා රචනය යනාදී කලා නිර්මාණ බිහි වේ. 
    කලා නිර්මාණ සහ සාහිත්‍ය නිර්මාණවල භාෂාව මෙන් ම අර්ථයන් ද පරිණාමීය ව වෙනසක් ගනී. සිංහල කවිය පිළිබඳ විමසීමේ දී හමුවන හැත්තෑව දශකයේ කවි යුගය, අසූව දශකයේ කවි යුගය, නිසඳැස් කවි යුගය, පේරාදෙනිය කවි යුගය, කොළඹ යුගයේ පෙර සහ පසු යුගය යනාදී එක් එක් යුගවල බිහි වූ කවිවල විවිධත්වයන් මීට නිදසුනකි.
   විවිධ ප්‍රදේශවල විවිධ සංස්කෘතීන් තුළ ජීවත් වූ පුද්ගලයන් ඔවුන් අයත් එම ප්‍රදේශ හා සංස්කෘතීන්ට ආවේණික වූ භාෂා රටාවන් ගොඩනගා ගත්තේ ය. එහෙයින් ප්‍රධාන ධාරාවේ භාෂා රටාවට අමතර ව උප භාෂාවන් ගනනාවක් බිහි විණි. 
   මෙලෙස ක්‍රමක්‍රමයෙන් විකාශනය වූ භාෂාව, ගුවන්විදුලිය රූපවාහිනිය වැනි ජනමාධ්‍යයේත් ජංගම දුරකතනය, අන්තර්ජාලය, සමාජ ජාල වැනි නව මාධ්‍යයේත් ආගමනය සමඟ පරිවර්ථනීය වෙනසකට ලක් වේ. මෙම ජනමාධ්‍ය සහ නව මාධ්‍ය මගින් මානව සන්නිවේදනය පහසු කරලීමක් සිදුකරත් එමඟින් භාෂාව උඩුයටිකුරු කරලීමක් සිදුකර ඇත. 
     ජනමාධ්‍ය තුළ කියාත්මක කෙරෙන විවිධ යටි අරමුණු ඉටුකර ගැනීම සඳහා වැඩසටහන් ඉදිරිපත් කිරීමේ දී සිංහල - ඉංගීසි අච්චාරු බසක් භාවිත කරන ආකාරය අපට නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැබේ. එය විටෙක ගුවන් විදුලිය සහ රූපවාහිනිය නරඹන අසන පුද්ගලයන්ට අර්ථබාධා ද ගෙන එයි.  
ෆේස්බුක්, ට්විටර්, වයිබර් සහ අන්තර්ජාලය වැනි නවමාධ්‍ය තුළ වැඩිවශයෙන් දක්නට ඇත්තේ “සිංග්ලිෂ්” වූ භාෂා රටාවකි. එසේ ම එම භාෂා භාවිතය කෙටි සහ සංකේතාත්මක ස්වරූපයෙන් යුක්ත ය. 
වෙනස් වීම යන්න ලොව සියල්ලන්ට ම පොදු වූ දහමකි. භාෂාව සම්බන්ධව ද එහි විකල්ප නොමැත. භාෂාව ද මොහොතක් පාසා වෙනස් වේ. භාෂා පරිණාමය ලෙස හඳුන්වන්නේ එම වෙනස්වීම යි. එහෙයින් එක් එක් කාලවල දී නිර්මාණය වන භාෂා රටාවන් දෙස වපරැසින් බැලීම උචිත වන්නේ නැත. මන්ද භාෂා පරිණාමය යන්න ස්වභාවික සංසිද්ධියක් වන බැවිණි.

4 comments:

Unknown said...

godak watina lipiyak nangi... best of luck

Unknown said...

hoda wedak

Communication and media studies said...

hoda lipiya

Unknown said...

Really important.. Good luck