Saturday, July 22, 2017

ගම්වලට නම් පටබැඳුණු හැටි

අතීතියේ දී මෙරට පැවතියේ කෘෂි කාර්මික ජීවන රටාවකි. එහිදී ගොවිතැන පුරාණ සිංහලයාගේ ජීවිතය හා සමාන විය. ගොවිතැන නිසා අන්‍යෝන්‍ය වශයෙන් සාමූහිකත්වය ඇති විය. සාමූහිකත්වය හේතුවෙන් ගම්මාන බිහි විය. මෙකී ගම්මානවලට පැරැන්නෝ සිය පරිසරය හා බැඳි ජීවන ක‍්‍රමය ඇසුරින් නම් තැබී ය. වැව්-අමුණු‚ කමත‚ හේන්‚ කඳු‚ පර්වත මුල් කරගෙන ගම්වලට නම් ඇති වීය. එසේ ම කිසියම් ඓතිහාසික සිදුවීමක් පාදක කරගෙන ද ගම්වල නම් නිර්මාණය වී තිබේ. ඇතැම් නම් නිර්මාණය වූ ආකාර පිළිබඳ ජනප‍්‍රවාද කිහිපයන් ම තිබේ. එබැවින් බොහෝමයක් ගම්වල නම් අරුත්බර ය. මේ අන්දමට මෙරට සැම ගමක ම ප‍්‍රදේශයක ම නාමයන් නිර්මාණය වීමට අදාල හේතුවක් ඇත. ඒ ගැන කතාවක් ඇත. ඉන් කිහිපයක් මෙසේ ය. 

වත්තල
   මෙය කොළඹට ආසන්න නගරයකි. වත්තල යන නාමයේ නිර්මාණය පිළිබඳ මත කිහිපයක් ම පවතී. “වස්ත‍්‍ර ශාලාව” යන්න පසු කාලීනව “වත් + හල” වී පසුව එය වත්තල බවට පත් වූ බව එක් මතයකි. ඇතැමුන් පවසන්නේ “වස්තු + ශාලාව” යන්න වත්තල වූ බවයි. එසේ ම වක‍්‍රාකාර වූ තලයක් ලෙසින් භූමිය පිහිටි හෙයින් “වක් + තල” පසුව වත්තල ලෙසින් භාවිතයට නැගුණු බව ද අසන්නට ලැබේ. වත්තල යනු කඳු රහිත තැනිතලා භූමි ප‍්‍රදේශයකි. එබැවින් “වතු + තල” වත්තල වූවා යැයි ද ඇතමුන් විශ්වාස කරයි. එපමණක් නොව සිංහල රජවරු විසින් මහාසංගයා වහන්සේලා සඳහා දන්සැලක් හෙවත් බත් හලක් පැවැත් වූ බවක් එබැවින් මෙම ප‍්‍රදේශය “බත්හල” ලෙස හඳුන්වා ඇති අතර පසු කාලීනව එය වත්තල බවට පත් වී ඇතැයි ද පැවසේ.

වැලිමඩ
     වැලි මිශ‍්‍ර මඩ සහිත බිම් ප‍්‍රදේශයක් වූ හෙයින් “වැලිමඩ” නම් වූ බව කියැ වේ.

ලූණුගල
  ලූණු මෙන් කැඞී යන හිරිගල්වලින් ගහනය වු හෙයින් මෙම ප‍්‍රදේශය “ලූණුගල” නම් විය.

හාලි ඇළ
  මෙම ප‍්‍රදේශයේ මුල් පදිංචිකරුවන් “හාල් ගැරූ ඇළ” පසු ව “හාල් ඇල” වී “හාලි ඇළ” නමින් ප‍්‍රසිද්ධියට පත් වී ඇතැයි කියැ වේ.

කතරගම
  කතරගම යන නාමයේ නිර්මාණය පිළිබඳ මත කිහිපයක් ම පවතී. රන්කිහිරිය ගස් බහුල ග‍්‍රාමය බසරාගම ලෙසත් පසුව එය “කදරගම” ලෙසත් කල් යත් ම එය “කතරගම” ලෙසත් ව්‍යවහාරයට පැමිණ ඇත. එසේ ම ක්‍ෂතී‍්‍රයන් විසු පෙදෙස “ක්‍ෂතී‍්‍රය ග‍්‍රාම” ලෙසත් පසුව එය “කදිරගම” ලෙසත් අවසන කතරගම බවටත් පත් වූ බව කියැ වේ.

මොණරාගල
  මෙහි පුරාණ නාමය වන්නේ “අමරුප්පල” යි. මොණරෙකු ආකාරයෙන් සෑදුණු පර්වතයක් පිහිටි ප‍්‍රදේශය මොණරාගල ලෙස ව්‍යවහාරයට පැමිණ තිබේ.

හපුතලේ
  හපුතලේ යන්න “ඔප්පුතෙලෙ” යල ද්‍රවිඩ වදනින් බිඳී ආවක් බව පැවසේ. ඔප්පුතෙලෙ යනු කඳු මුදුනේ සමතලා බිම යන්න බව ඇතැම් උගතුන්ගේ මතය යි.  හපුතලේට පෙර පැවති නම “රන්ගිරි කන්ද” බව සිංහල ෂබ්ද කෝෂයේ කතෘ ආචාර්ය පුංචි බණ්ඩාර සන්නස්ගල මහතා පෙන්වා දෙයි. රන්ගිරි කන්ද යනු “තංගමෙලෙ” යන ද්‍රවිඩ වචනායන් බිඳී ආවක් බව ඔහුගේ මතය යි.
   ඌවේ ඉතිහාසය නම් කෘතිය ලියූ පන්ඩිත නාවුල්ලේ ධම්මානන්ද හිමියෝ සපු වෘක්‍ෂවලින් යුතු කඳු මුදුනක් ඇති නිසා මෙම ප‍්‍රදේශයට හපුතලේ යනුවෙන් නම් කළ බව සඳහන් කර ඇත. මීට තවත් මතයක් නම් මහා පරාක‍්‍රමභාහු කල විසූ සංඛ මහාමාත්‍යවරයාගේ වාසභූමි ප‍්‍රදේශය “සංඛත්තල” ලෙසත් පසුව එය “සක්තල > හක්තල > හකුතල > හපුතල” වූයේ යැයි යන්නයි.

අලව්ව
  අලව්ව යනු කුරුණෑගල දිස්ත‍්‍රික්කයට අයත් නගරයකි. අතීතයේ දී අලවුව පිහිටි ප‍්‍රදේශයේ දී එක්තරා උපාසකයෙක් විසින් රහතන් වහන්සේලාට අල වර්ගයක් තම්බා දී ඇත. අල වළඳන ලද රහතන්  වහන්සේලා විසින් මෙම දානයේ පුවත අනාගතයේ දී නොමැකී පවතිනු පිණිස මෙම ස්ථානයට “අලව” යන නාමය ව්‍යවහාරය කළ යුතු බව පවසා ඇත. එතැන් පටන් එම ස්ථානයට අලව ලෙස භාවිත වී ඇත පසු කාලීන ව එය අලව්ව යනුවෙන් ව්‍යවහාර වී තිබේ.

නුවර එළිය
     ජනප‍්‍රවාදයට අනුව නුවර එළිය නාමය නිර්මාණය වීමට පාදක වී ඇත්තේ රාම රාවණා කතා පුවත යි. සීතා කුමරිය පැහැරගෙන ආ රාවණා රජු ඇය නුවර එළිය හක්ගල අශොක උයනේ රඳා සිටි බවත් ඇය සොයා පැමිණි හනුමන්තා ඇතුලූ පිරිස ගම් දනව් ගිනි තබමින් මෙම ප‍්‍රදේශයට ඇතුලූ වූ බවත් ගිනි ගත් එම නුවර ඇතට දිස් වෙද්දී වෙනත් ප‍්‍රදේශවල සිටි පිරිස් මෙම ප‍්‍රදේශයෙන්  එන එළිය කුමක්දැයි කියා විමසිළිමත් වූ බවත් පැවසේ.  එසේ දිස්වුණු ආලෝකය නිසා මෙම ප‍්‍රදේශය නුවර එළිය නමින් ව්‍යවහාරයට නැගුණ බව කටවහරේ මතය යි.

අස්ගිරිය
 අතීතයේ දී ගම්පහ මිනුවන්ගොඩ මාර්ගයට නුදුරින් විශාල ගල් කුළක් දක්නට තිබී ඇත. එය “අශ්ව ගිරි” ලෙස එකල හඳුන්වා ඇත. යෝධ හස්තයකින් ඔසවාගෙන සිටින අශ්ව රුවක හැඩය ගත් මෙම ගල් කුළ නිසා එම ප‍්‍රදේශය “අශ්ව තිරිය” නම් වී පසුව අස්ගිරිය ලෙස භාවිතයට පැමිණ ඇත.



 

Friday, July 7, 2017

ජාතක කතා පොතින් පෝෂිත ගීත සාහිත්‍යය


    ගීතයකින් හැගිම් දනවන ආකාරය සෙසු සාහීත්‍යාංගයන්ට වඩා සුවිසෙස් වේ. ඒ‚ ගීතය තුළ භාෂාව විශිෂ්ට ලෙස භාවිත කිරීමත්‚ එකී භාෂාවෙන් ඉස්මතු කෙරෙන අර්ත සෞන්ර්දයත්‚ යොදා ගන්නා සුලලිත ආකෘතියත්‚ ගේය පද සංයෝජනයත්‚ සංගීත රචකයා විසින් නිර්මිත නාද සෞන්දර්යයත් මෙන් ම ගායකයාගේ සුගායනයත් යන සියල්ලන්ගෙන් මනාව සංකලකය වී තිබීම යි.
  ගීතයක අරුත් සෞන්දර්යය මතු කරලීමට රචකයා ඊට පාදක කරගන්නා වස්තු විශය අත්දැකීම ප‍්‍රධාන තැනක් උසුල යි. අරුත් සම්පන්න නිර්මාණයක් බිහිකරලීමට නම් ගේය පද රචකයා පාරම්පරික ඥානයෙන් පොහොසත් විය යුතුය. දැනුම‚ අත්දැකීම්‚ හැගීම් දැනීම් ඔස්සේ හඹා යා යුතුය. එහිදී නිර්මාණකරුවකු පරිහරණය කළ යුතු දැනුම් උල්පතක් වශයෙන් අපගේ සම්භාව්‍ය සාහිත්‍යය දැක්විය හැකිය.
      පාරම්පරික ඥානය පමනක් නොව දැනුමෙන් ආකල්පයෙන් ද සුපෝෂිත වීම පිණිස ඈත අතීතයේ විසූ බොහෝ නිර්මාණකරුවන් භාවිත කළ වැදගත් මූලාශ‍්‍රයක් වන්නේ පන්සිය පනස් ජාතක පොත් වහන්සේ ය. එය පාදක කරගෙන නිර්මාණය වූ විශිෂ්ට ගීත රැසක් අපේ ගීත සාහිත්‍යයට එක්ව තිබේ.
ජාතක කතා පොතෙහි එන චන්න කින්නර ජාතකය බොහෝ නිර්මානකරුවන් සිය නිර්මාණ සඳහා ආශ‍්‍රය කරගෙන ඇත. එම ජාතකය ලාංකේය ගැමි ජනයා ඉතා අනුවේදනීය ව රසවිඳි පෙම් පුවතකි. පේ‍්‍රමය මෙන් ම විරහව ද මෙම කතා පුවතින් ජනිත කරවාලයි. බොහෝ කවීන්ගේ නිර්මාණ සඳහා චන්න කින්නර ජාතකය මූලාශ‍්‍රය බවට පත් වන්නට එය මූලික හේතුවක් ව තිබේ.
 ප‍්‍රදීපා ධර්මදාස විසින් ගයන රත්න ශී‍්‍ර විජේසිංහයන් විසින් සඳකිඳුරු දා ඇසුරින් කළ නිර්මාණයක්  මෙහිදී හමුවේ.
                 සඳගිරි පව්ව කොහෙදෝ - මගේ සඳ කිඳුර කොහෙදෝ
                 මට කියන්න මා වැන්දඹු වුණා
                 චන්න කින්නරී මා
                 අපි ගෙයින් ගෙට යන ගමනේ
                 කුලී ගෙයක නැවතී කවි සින්දු කියා අත පෑවේ සාගින්දර ඇවිලී
                මහ කලූවර නුඹ කොහි ගෙන ගියාද හිමි සඳුනී
                නිල් වනන්තරේ ගිනි ගනීවී සුසුම් වලින් ඇවිලී
                නිල් අනෝතප්ත විල සිඳේ වී
                මගෙ සඳ කිඳුරා මටම දෙන්න - පින් ඇති වන සතුනී

        සමාජ විශමතාවන්ගෙන් පිරුණු ලෝකයක අභිරහස් ලෙස අතුරුදන් වූ සිය සැමියා වෙනුවෙන් උපන් වියොවින් හඩා වැළපෙන නූතන චන්නකින්නරියක් මෙම ගීතයෙන් අපට හමුවේ. සැමියාගේ අකල් වෙනවීම නිසා ඇය කෙතරම් අසරණ වනවාද යන්න කවියෙන් ඉස්මතු කරවාලයි.
   මනමේ නාටකය ඇතුලූ නව නිර්මාණ රැසකට ජාතක කතා පොතෙහි එන චුල්ල ධනුද්ධර ජාතකය ද මුල් ව තිබේ. මනමේ කුමර.‚ මනමේ කුමරිය මෙන්ම වැදි රජුගේ  දෘශ්ටි කොණයෙන් ලියැවුණු ගීත ගණනාවක් සිංහල ගීත සාහිත්‍යයේ පවතී. ස්වර්ණ ශ‍්‍රී බණ්ඩාරයන් විසින් ලියා එඞ්වඞ් ජයකොඩි ගායනා කරන පහත ගීතය ඊට එක් නිදසුනකි.
           
       ඔබෙ රූසිරෙන් මන්මත් වී මම - නොකළෙමි අනුවනකම්
       මුලා වුණේ ඔබ මුලා නොවුණි මම - මනමේ කුමාරියේ
       ඔබ රූසිරෙන් ඔහු නැණ ගුණයෙන් - මාගේ විජිතය කෙලසී යනු ඇත
       සටන් වැදුණි මම සටන් වැදුණි මම - මනමේ කුමාරියේ
       හැඩිදැඩි අපහට හුරු වූ වන ගැබ - අපගේ උරුමය රකිනා රිසියෙන්
       සටන් වැදුණි මම සටන් වැදුණි මම - මනමේ කුමාරියේ

       ගීතය මතුපිටින් චුල්ලධනුද්ධර කතාව නිරූපණය කළ ද සැබවින් ම මෙම ගීතයෙන් ධ්වනිතාර්තවත් කරනුයේ කාලීනව සමාජයට සිදුව ඇති විපතයි. එතෙරින් එන විවිධ අරුමෝසම් හමුවේ විනාසයට පත්වන ලාංකේය සංස්කෘතිය රැක ගැනිමට මුල් වූවෙකු අපට නොසිටියේ ය. එහෙත් වනයේ වනචාරී සංස්කෘතියට පිවිසෙන මනමේ කුමර-කුමරි දෙපළගෙන් වනයට විය හැකි විපත වැදි රජුට වැටහුණි. “ඔබ රූ සිරෙන් ඔහු ණැන ගුණෙන් මාගේ විජිතය කෙලසී යනු ඇත” ලෙස කවියා එය දක්වාලයි. වැදි රජු සටන් වැදුනේ ඔවුන්ගේ උරුමය රැක ගැනීමට ය. ගීතය හරහා වැදි රජුගේ චරිතය වෙනස්ම ආකාරයකට අපූර්ව අර්ථකථනයක් මතු කරලීමට ස්වර්ණ ශ‍්‍රී බණ්ඩාරයන්ගේ ප‍්‍රතිභාපූර්ණ කවීත්වය සමත් ව තිබේ
  හිසෙහි නර කෙසක් දැක ජීවිතය කෙරේ කලකිරී තපසට ගිය රජෙකු පිළිබඳ කියැවෙන මඛාදේව ජාතකය ගැමි ජනතාව අතර බෙහෙවින් ප‍්‍රචලිත ය. ඒ ඇසුරින් ද ගීත රැසක් බිහි වී තිබේ. මඛාදේව රජුගේ චරිතය ඇසුරින් බණ්ඩාර ඇහැළියගොඩ විසින් ප‍්‍රතිනිර්මිත පහත ගීතය ඉන් එකකි.
 
 නර කෙස දැක දුක් පසක් කොට - ගිහිගෙයින් නික්මෙනු කෙලෙස
 කල්පයක කල් ගෙවා නොනිමෙන - මහමෙරක් බර ඇත හිසේ
 අදරින් හැදු වැඩු මා පියන් - පීඩිත ලෙස පසුවෙති පැළේ
 දෙටු දූවරු මල් දුනු අරන් - එනතෙක් හිඳිති තනි මල් මංසලේ
 මගුලැතු ඇවිත් දන නමන තෙක් - තව කී කලක් ඉන්නද බලා
 දුක නොදිනුවොත් උන් හා මියෙන්නෙමි - කුමකට මා පමණක් දිනා
   
      සමාජයේ ජීවත්වන්නන්ට අභිනිෂ්ක‍්‍රමණයේ දී ඇතිවන බාධාකම්කටලූ ගීතයෙන් සහෘදයන්ට සිහි ගන්වයි. තමා මෙතුවක් ගොඩනගාගත් බැඳීම් සබඳතා මෙන් ම තමා තම යැපෙන්නන් සුරක්‍ෂිත කරලීමට තම හිස තම පැටවී ඇති වගකීම ද ගීතයෙන් ගෙන එයිග. තම පවුලේ සෙසු සාමාජිකයන් නිවසේ තනි වෙද්දී ඔවුන්ගෙන් තමන්ගෙන් විය. යුතු යුතුකම් ඉටු නොවන කළ තමන්ට විමුක්තියක් නොමැති බව කවියා පවස යි. ගීතයේ එන සිය විමුක්තිය සිය පවුල වෙනුවෙන් කැප කළ පියෙකුගේ වදන්වලට සනත් නන්දසිරි විසින් පන පොවයි.

     උම්මග්ග ජාතකයෙහි අතුරු කතාවක් වන සිරි කාලකන්නි පුවත ඇසුරින් රත්න ශ‍්‍රී විජේසිංහයන් විසින් ලියා ඇති  “අජානිය ස්කූටර් තුරගා පිට වඩිනා” යන ගීතය ද සුවිශේෂී වේ. එම ගීතයට පිංගුත්තරගේ චරිතය ඇසුරු කරගෙන තිබේ. උදුම්බරා දේවිය වර්තමාන පෙම්වතියකට උපමා කෙරෙන අතර මෙකල දක්‍ෂ ශිෂ්‍යයකුට අත්වන ඉරණම ද කියාපායි. දක්‍ෂ ශිෂ්‍යයෙකු විරැකියාවෙන් සිටින මොහොතක පැරණි පෙම්වතිය හමුවීමෙන් ඇතිවන විරහව ගීතයෙන් මනාව නිරුපණය කර තිබේ.









Thursday, June 29, 2017

දත් නොදත් පොත්පත්

         පොත් පිළිබඳ ඉතිහාසය මිනිසාගේ ලේඛණ කලාව තරමට ම පැරණි යැයි කීවාට වරදක් නැත. මුල් කාලීන මානවයා ලේඛණ කලාවට හුරු නොවුණි නම් අද අපට රසවිඳීමට මෙන් ම දැනුම වර්ධනය කර ගැනීමට පොත් නොතිබීමට ඉඩ තිබිණි. මෙකී ග‍්‍රන්ත සාහිත්‍ය ඉතිහාසය තුළ හමුවන සුවිශේෂී ග‍්‍රන්ථ කිහිපයක් පිළිබඳව  මෙසේ ගෙන එමි.

ලෝකයේ දිග ම නවකතා 
        ලෝකයේ දිගම නවකතාව වශයෙන් සැළකෙන්නේ මර්යෙල් ප‍්‍රවිස්ට් රචනා කළ In Search of Lost Time යන නව කතාව යි. මෙහි සමස්ථ පිටු ගණන 4211 කි. එම පිටු ප‍්‍රමාණය වෙලූම් 7කට සකස් කර ඇත. මුලූ නවකතාව ම ලිවීම සඳහා වචන ලක්‍ෂ 12ක් පමණ උපයෝගී කරගෙන ඇති බව සඳහන් වේ. නවකතාව මුළුමනින් ම ලියැ වී ඇත්තේ ප‍්‍රංශ භාෂාවෙන් වන අතර පසුව එය ඉංග‍්‍රීසි බසට පරිවර්තවය කර ඇත. In Search of Lost Time නවකතාව ලොව දිග ම නවකතාව ලෙස ගිනස් පොතේ ද සඳහන් වේ.

     
 අර්නෝ ස්කිමිඞ්ල්ඩ්ට් (Arno Schimidt) රචනා කළ සෙට් සෙට්ල්ස් ටෘම් ( Zettls Traum )  කෘතිය ද මෙහි දී සුවිශේෂී වේ. එහි පිටු ගණන 1536 කි. ජර්මන් බසින් ලියැවුණු මෙම කෘතිය ලිවීම සඳහා වචන ලක්‍ෂ 10ක් පමණ යොදා ගන්නට ඇතැයි සැළකේ. 
   
    
   තෙවැනි තැනට ලොව විශාල ම නවකතාව ලෙස සැළකෙන්නේ පර්සියන් බසින් ලියැවුණු කෙලිඩර් ( Kelidar) නවකතාව යි. එය මොහම්මුද් ඩොව්ලටබාඩී (mohomoud Dowlatabadi)  විසින් රචනා කර ඇත. පිටු 2836ක් පුරා ලියැවී ඇති මෙම කෘතිය වෙලූම් 10කින් සමන්විත ය. විද්වතුන්ගේ අදහස වන්නේ මෙම කෘතිය ලිවීම සඳහා වචන නවලක්‍ෂ පනස්දහසක් පමණ භාවිත වී ඇති බවයි. 
     
   ද්‍රවිඩ බසින් ලියැවුණු පොන්නියන් සෙල්වන් ( Ponniyin Selvan )කෘතිය ලොව සිව්වන තැනට විශාල නවකතාව ලෙස සැළකේ. එය රචනා කර ඇත්තේ කල්කි ක‍්‍රිෂ්ණමූර්ති (Kalki Krishnamurthy)විසිනි. වෙලූම් 5කින් යුක්ත මෙය පිටු 2600කින් සමන්විත ය. මෙම කෘතිය ලිවීම සඳහා වචන ලක්‍ෂ 09ක් පමණ යොදා ගෙන ඇති බව කියැවේ.

ලොව විශිෂ්ඨත ම කෘතිය 
       නෝර්වේජියානු පොත් සමාගම විසින් වාර්ශික ව විශිෂ්ඨ කෘති 100ක් තෝරනු ලබයි.  මෙම කෘතීන් 100 අතරින් පළමු ස්ථානයට පත් වන්නේ නයිජීරියානු ලේඛක චිනුආ අචෙබේගේ "තින්ගස් ෆෝල් අපාර්ට්" (things fall apart)යන කෘතිය යි. සෑම වසරක ම තේරී පත්වන කෘති 100 අතරින් 11ක් ම ලියා තිබෙන්නේ ලේඛිකාවන් ය. තවත් 85ක් ලියා ලේඛකයන් විසින් ලියා තිබෙන අතර නම් හඳුනා නොගැනුණු ලේඛකයන්ගේ කෘතීන් ද මීට ඇතුළත් වේ. 

ලොව ප‍්‍රථම නව කතාව 
   ලොව ප‍්‍රථම නව කතාව ජපානයේ බිහි වූවකි. නමින් එය ටේල් ඔෆ් ජෙන්ජි (The Tale of Genji) වේ. මෙය ජෙන්ජි මොනගතරි වශයෙන් ද හැඳින් වේ. කෘතිය රචනා කර ඇත්තේ මුරසාකි ෂිකුබි යන ලේඛිකාව විසිනි. ඒ 11වන සියවසේ දී ය.


ලොව විශාල ම පොත
        ලොව විශාල ම පොත ලෙස සැළකෙන්නේ “දිස් ද ෆ්‍රෙෆට් මොහොමඩ් යන කෘතිය යි. මෙය මීටර 5 ×, මීටර 8.06 ප‍්‍රමාණයෙන් යුක්ත වේ. පිටු 429කින් සමන්විත මෙහි බර කිලෝග‍්‍රෑම් 1500කි. ඉස්ලාමීය ආචාරධර්ම අනුව හැඩගැසුණු පුද්ගලයන් තුළ ධනාත්මක සිතුවිලි ඇති කිරිමට සමත් කරුණු මෙම කෘතියෙහි ඇතුළත් වේ.

ලොව වැඩියෙන් ම අලෙවි වූ කෘතිය
      චාල්ස් ඩිකන්ස්ගේ අ ටේල් ඔෆ් ටූ සිටීස්” (A tale of Tow Citiesයන කෘතිය ලොව වැඩියෙන් ම අලෙවි වූ කෘතිය ලෙ සැළකේ. මෙම කෘතිය තනි වෙළුමකින් සමන්විත ය. 1859 දී රචනා වූ මෙම කෘතියෙහි පිටපත් මිලියන 200ක් අලෙවි වී ඇති බව කියැ වේ. 




Thursday, June 22, 2017

“හූවේ” වගතුග

   අපේ පැරණි මුතුන්මිත්තන් සිය අදහස් හුවමාරුකරණයේ දී භාවිත කළේ ප‍්‍රාථමික සන්නිවේදන ක‍්‍රම විධීන් ය. ඒ අතරින්  “හූව”ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. පැරැන්ණන් කට තිබූ පළියට කෑ ගැසීමක් ලෙස හූ කීවේ නැත. එහි විවිධතා මෙන් ම අනන්‍යතා ද තිබිණි. ඉන් කිහිපයක් පහත පරිදි දැක්විය හැකිය.



රහස් හූව
  රහස් පණිවිඩ දැන්වීම සඳහා එකල හූව භාවිත විය. මෙය හැඳින්වූයේ  “රහස් හූව” ලෙසිනි. විශේෂයෙන් රජ මාලිගාවලට උවමනා තොරතුරු හුවමාරු කරගන්නා ලද්දේ මෙකී රහස් හූව මගින් ය. රහස් හූවේ ද විවිධත්වයන් තිබිණි.
      කිසියම් සැක සහිත පුද්ගලයකු පැමිණ විට හූ කියන්නේ එක් රටාවකට ය. සතුරු සේනාවක් පැමිණෙන්නේ නම් එය දන්වන්නේ වෙනස් ම ආකාරයේ හූවකිනි. මඳ දිගු හූවක් හෝ කෙටි හූවක් නැතිනම් හඩ වෙනස් කර සිදුකරන හූවක් ආදී වශයෙන් මෙම රහස් සන්නිවේදනය සිදු විය.

ඔච්චම් හූව
    පැරැන්නන් අතර ඔච්චම් හූව ප‍්‍රචලිත ව භාවිත වුයේ ඔවුන් කෙළිදොලින් කාලය ගත කරන විට දීය. ඒ අතරින් අවුරුදු ජන කී‍්‍රඩා අතරේ එන අංකෙලිය පවත්වන අවස්ථාව සුවිශේෂී වේ. අං කෙලියෙන් පරාජයට පත් වූ පිළ අංපිටිය මැද වාඩි කරවා ජය ලැබූ පිළ විසින් ඔවුනට හූ කියයි. මෙය හැඳින්වෙන්නේ ඔච්චම් හූව ලෙසිනි. ජය ලැබූ පිළ මෙසේ ඔච්චම් හූව දිගට ම පවත්වන විට මඳ වේලාවකින් පරාජිතයන් ද හූ කීම අරඹයි. ඒ ඔවුන් ඔච්චම් හූව පිළිගන්නා බව හැගවීමට ය.

වැදුම් ගේ හූව
     වැදුම් ගේ හූව යනු කාන්තාවන් අතර පැවති හූවකි. ගැමි සමාජ ක‍්‍රමය තුළ කාන්තාවක් දරුවකු ප‍්‍රසූති කරන ලද්දේ නිවසේ තෝරාගත් කාමරයක් තුළ දී ය. එකී කාමරය හැඳින්වූයේ වැදුම් ගෙය ලෙසයි. දරුවකු ප‍්‍රසූති කරන අවස්ථාවේ දී හදිසියේ අනෙක් පිරිසකගේ උදව් අවශ්‍ය වුවහොත් වැදුම් ගෙයි සිටින කාන්තාවන් උදව් ඉල්ලා හූ කියයි. මෙය හඳුන්වන්නේ  “වැදුම්ගෙයි හූව” ලෙසිණි. වැදුම්ගෙයි හූව ඇසුණු පිරිස් උදව් පිණිස දුව එන අතර ඒ එන්නේ ඔවුන ද පිළිතුරු වශයෙන් හූ කියමින් ය.

මුකලන් හූව
    මුකලන් හූව භාවිත වූයේ දඩයමේ යන අවස්ථාවේදී ය. සාමූහික ව දඩයමේ යන විට දී සෙසු දඩයක්කරුවන් අනතුරකින් තොර ව ඉදිරියට යනවා ද යන්න මෙන් ම එකිනෙකා සමාන්තර දුරකින් ගමන් කරනවා ද යන්න තහවුරු කරගන්නේ මුකලන් හූව මගිනි. මෙහි ඇති විශේෂත්වය නම් සාමාන්‍ය මිනිස් කට හඩකින් නගන හූවක හඩට වඩා යක්‍ෂයකු නගන හඩකට සමාන වීම ය. මුකලන් හූව දඩයම් හූව ලෙසත් හඳුන්වනු ලබයි.

වැහි හුව
   අධික වර්ශාව පවතින විට විශේෂයෙන් වැව වාන් දමන විට දී වැව් බැම්ම ආරක්‍ෂා කර ගැනීමට පැරැන්නෝ උත්සහ කළහ. මේ සඳහා ගම් වාසීන් රැස් කරගත යුතු වූ අතර එය සිදුකරන ලද්දේ හූවකිනි. මෙය වැහි හූව ලෙසට හඳුන්වයි. වැහි හූවේ දී මුල් තැන ගෙන කටයුතු කරන්නේ ගමේ සිටින නායකයින් ය.

       සන්නිවේදන විධික‍්‍රමයක් ලෙස හූව භාවිත කිරීමේ දී ඊට උචිත රටාවක් මෙන් ම නිෂ්චිත ස්ථානයක් පවතී. එක් එක් හූවෙහි සම්මතයන් හරියාකාර ව නොහඳුනයි නම් හූවෙන් කියැවෙන අර්ථය නිසියාකාර ව අවබෝධ කරගැනීමට අසිරු වේ. පැරැන්ණන් මෙකී සම්මතයන් පිළිබඳ අත්දැකීමෙන් ම හඳුනාගෙන තිබිණි. මේ නිසා ම ඔවුන් හූව දුර මැනීමේ මිම්මක් ලෙස ද භාවිත කළේ ය.  හූවේ දුර”‚  “හූ දෙකක විතර දුර”‚  “හුවක් දුර නෑ” යනා දී ලෙස තවකෙකුට දුර කීමේ මිම්මක් ලෙස හූව භාවිත කිරිමට පැරුන්ණන් හුරු ව සිටියේ ය.

Monday, June 12, 2017

කවි උයනේ සඳුන් සිසිල “ සාගර පළන්සූරිය”


           
                       කවිකම යනු කිසිවකුත් සහජයෙන් ලබන වාසනා මහිමයකි. එම වාසනා මහිමය සාගර පළන්සූරිය කිවිඳුනට ද මනා ලෙස උරුම වී තිබිණි. ලාංකේය කාව්‍ය යුග පරම්පරාවේ කොළඹ යුගයේ දෙවෙනි අදියරේ කීර්තිමත් මෙන් ම ජනප‍්‍රසාදයටල බුහුමනට පාත‍්‍ර වුණු සුවිසෙස් වූ කවි මුතු කැටයක් ලෙස සාගර පළන්සූරිය නාමය දිදුල යි. සොභාදහමට පෙම් බැඳි ගැමි දිවියේ ඇස ගිය තැන් එතුමාගේ ප‍්‍රතිභාවේ සියුම් හදගැස්ම ස්පර්ශ කිරීමට සමත් ව ඇත.
        සිංහල සහ ඉංග‍්‍රීසි භාෂාවන් පිළිබඳ හසල දැනුමකින් පරිපූර්ණ වූ එතුමා බටහිර කවීන්ගේ ආභාසය තුළින් කාව්‍ය රචනා කොට රසිකයන් හට තිළිණ කළේ ය. එනිසා ම ලාංකේය රසිකයන්ට රෝමාන්තික වාදය මෙන් ම සොභාසහම් වාදය අනුව නිර්මාණය වුණු කවි රස විඳීමේ භාග්‍යය උරුම විය.
    පරස්පරතාවකින් තොර ව යුගයෙන් යුගයට රසෝද්දීපනය ගෙන එන එතුමන්ගේ කාව්‍ය රචනා අතර  “සුදෝ සුදු” කවි පෙළට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. “සුදෝ සුදු” කෘතිය බිහිවූයේ පරිවර්තන කෘතියක් ලෙසිනි. ඒ බටහිර කවියෙකු වූ ඇල්ෆ‍්‍රඞ් ලෝස් මිල්ටන් කවියාගේ  “ඊනොක්” (Enoc Arden) කෘතිය ඇසුරු කරගෙන ය. බටහිර නිර්මාණයක් වුව ද පළන්සූරිය කිවිඳුන් විසින් එය අපේකමට හරවා ලාංකේය කාව්‍ය ලෝලින්ට  මනා රසවින්දනයකට ඉඩ සළසා දී තිබේ.
    මෙය කවි කතාවක් ලෙස හඳුන්වාදීම වඩාත් උචිත ය. සුන්දර ගම්බද පෙදෙසෙක දිවි ගෙවන හීන් මැණිකේ‚ ටිකිරි සහ අදිරි යන ගැමි දරුවන් අතර මිතුදම මෝරා වැඩෙමින් තරුණ වියට පැමිනෙද්දීත් තුන්කොන් පේ‍්‍රමයක් බවට හැරෙද්දීත් එය ඔවුන්ගේ ජීවිතවල ඇතිකරවන පෙරළිය සුදෝසුදු තුළින් ඉස්මතු කරයි. කෘතියේ ආරම්භක කවියෙන් ම දැකිය හැක්කේ නිහැඩියාව තුළින් මැවෙන පිටිසරබද පරිසරයක අපූර්වත්වයකි.
               
                ගොඩ මඩ දෙකම සරුසාරය පල බරය
                කටුරොද ගම්මාන තරමක     පිටිසරය
                එ් ගම මැදින් ගලනා ග`ග     මනහරය        
                කඩමණ්ඩිය පිහිටියේ ගම    කෙළවරය
                   
             විනෝසාස්වාදය විඳීමට වෙනත් කලා මාධ්‍යයන් විරල වූ යුගයක මෙවන් සරල කවි පද රස විඳීමට  බොහෝ රසික පිරිස් පෙළඹුණහ.
                     මල්හාමි‚ කාලකන්නියාල පිළිරුව‚ කන්දෙගෙදර‚ විසිවුණු තරු‚ උතුරෙන්‚ ධීවර ගීතය‚ කැළණි විත්ති‚ අපේ ගම ආදී කෘති එතුමන්ගේ පන්හිඳෙන් රචනා වූ තවත් නිර්මාණයන් කිහිපයකි. තව ද කණ උන්දැ නම් වූ ඔහුගේ නිර්මාණය තුළින් ද අත්විඳීමට ලැබෙන්නේ සමාජයේ පැවති මෙන් ම පවත්නා දිළිඳුබව හා සමාජ විෂමතාව පිළිබඳ යි.
              ධීවර ගීතය නම් ජනප‍්‍රිය නිර්මාණය තුළින් පිළිිබිඹු වන්නේ මුහුදු ගිය සිය සැමියා පිළිබඳ ධීවර බිරිඳක තුළ පවත්නා අපරිමිත සංවේදතාවයි. මුහුදු රළ අතර සිය ජීවිතය සමග පොරබදිමින් ජීවත්වන්නට ධීවර වෘතියෙහි නියැලෙන තම සැමියා ගැන හුදකලාව වෙසෙන ඇයට ඇත්තේ දැඩි බියකි. ඇගේ හැගීම් අතිශ්‍යය සසල ය. මෙම කවි පෙළ තුළ පැරණි සම්ප‍්‍රදායික ජන කවියෙහි සෙවනැල්ල දක්නට ලැබේ. මෙහි ඇතැම් තැනක දී යශෝදරාවතෙහි එන පදවැල් අපට මඳකට සිහිපත් කරනු ඇත.
         පළන්සූරිය කිවිඳුන් යාපනය ප‍්‍රදේශයෙහි ගුරු සේවයෙහි නියැලුණු යුගයේ දී ලියන ලද  “උතුරෙන්” කවි පෙළ ද කිසියම් මානව සහෘදත්වයක ඉගි ගෙනහැර දක්වයි.
               කවියට පමණක් සීමා නොවුණු මෙතුමා එයට අමතර ව වෙනත් ග‍්‍රන්ථ නිර්මාණයේ ද නියැලිණි. ඔහු jungle tide  නම් කෘතිය “වන ප‍්‍රවාහය” නමින් පරිවර්තනය කළේ ය.  “මා දුටු අපරදිග” නමින් ද තවත් කෘතියක් ඔහු සිංහලයට හැරවීය. ඔහුගේ ව්‍යාකරණ දැනුම ද අපමණ ය. “පද නීතිය” නමින් ඔහු රචනා කළ කෘතිය හරහා එය මනාව පැහැදිලි වේ.
           පළන්සූරිය කිවිඳුන් කලක්‚ කළල්ඇල්ලේ ආනන්ද සාගර නමින් පැවිදි දිවියක් ගෙවූ අතර එහිදී භාවිත වූ නමෙහි මුලකුරු සංක්‍ෂිප්ත කිරීමෙන්  “කේයස්” යන ආරූඪ නාමයෙන් ප‍්‍රසිද්ධියට පත් වූහ. එදා මෙදා තුර කේයස් යන නාමය එලෙසින් සාහිත්‍ය ලොකට තුළ ප‍්‍රචලිත වී තිබේ.


Sunday, June 11, 2017

සිරිදාස - රෝහිණි බැන්දා ය..



“වෙන කරන්න දෙයක් නැහැ අපි බඳිමු” රෝහිණී කීවා ය
යාලූවන් දෙදෙනෙක් සාක්‍ෂියට අත්සන් කළේ ය
දවල් කෑම විවේකයේ දී කච්චේරියේ දී සිරිදාස රෝහිණි බැන්දා ය
යහලූවන් නැති චමරි කාමරයේ දී ඔවුන් මධුසමය ගත කළේ ය
කඩෙන් ගෙනා කොත්තු රොටිය මංගල ආහාරය විය
යහලූවන් උදේ දොරට ගහන හඩින් අවදි වී දෙවන ගමනට සූදානම් විය
සිරිදාසගේ පුස් සයිකලය මංගල රථය විය
සිරිදාස පැද්දේ ය‚ රෝහිණී වාඩි වී සිටියේ ය
ගෙට ගොඩ වෙන්නට ඈත තියා ම බුරාගෙන පැමිණි දඩෝරියා
සිරිදාස වටා කැරකී පස්ස අණ්ඩක් උස්සා පා දෝවනයට සූදානම් විය
සිරිදාස පා පහරකින් ඌට තෑගි දුන්නා ය
ගෙට ඇතුලූ වන්නට කලින් ම අයියා රතිඤ්ඤා පත්තු කෙළ් ය
එහි අලිඩෝං ද විය
අම්මා ජය මංගල පටන් ගත්තා ය
තාත්තා අෂ්ටක මෙන් ම ස්තෝත‍්‍ර ද ගායනා කළේ ය
අක්කා උයන්නට තිබූ පොල් ගෙඩිය පොළොවෙ ගසා බින්දා ය
අහල පහල අය දොර ජනෙල්වලින් එබී බලමින්
ඈත සිටන් ම මංගල සිරි නැරඹුවේ ය
කවුරුත් කීවේ ඔවුන් (නො)ගැලපෙනවා කියා ය
සිරිදාසත් රෝහිණිත් (සතුටු) කදුළු සැලූවා ය
දැන් වසර තිහක් ගතවෙලා ය
අක්කා රස්සාවකට රට හැර ගිහිල්ලා ය
අයියා ඈත පළාතක බින්න බැහැලා ය
තාත්තා මියැදිලා ය
අම්මා සිරිදාසගේ ගෙදර ම ලෙඩවෙලා ය
සිරිදාසත් රෝහිණිත් තවමත් පවුල් කනවා ය

මතකයේ රැඳි කාටූන් චරිත


           නිවාඩු දවසට  උදෙන්ම නැගිටලා ටීවි එකේ කාටූන් බලපූ සොඳුරු අතීතයක් අපි හැමට ම තියනවා. ඉස්කොලේ ඇරිලා ගෙදර ගිහින්, ගෙදර වැඩ ඔක්කොම ඉවරකරල වරද්දන්නැතුව හවසට රූපවාහිනිය ඉස්සරහට අපි එක්‍ උනේ අපේ ප්‍රියතම කාටූන් වැඩසටහන් බලන්න.. යෙත් ඒ් සුන්දර  අතීතයට යන්න පුළුවන්නම් කොච්චර හොඳ ද?
                           අද රූපවාහිනි නාලිකා බොහෝමයක විකාශය වන 90 දශකයේ සහ 2000 මුල් භාගයේ තිරගත වූ ළමා චිත්‍රපට සහ කාටූන් නැවතත් නරඹන කොට, පුංචි සන්දියේ  සුන්දර මතකයන් නැවත සිහි ගැන්වෙනවා. මෙම කාටූන්වල දෙබස් පරිවර්තනයේ දී දේශීය උරූවට මුල් තැන දී  ඇති නිසා ම ශ්‍රී ලංකාවේ ලොකු පොඩි කාගෙත් ආදරය දිනා ගන්නට සමත් ව තිබෙන බව කිව යුතුයි. සිංහල දෙබස් කැවූ විදෙස් කාටුන් හි නිර්මාණයන් පිළිබඳ වැඩි විස්තර දැන ගන්නට ඔබත් කැමති ඇති. 

දොස්තර හොඳ හිත
      දොස්තර හොඳ හිත කියන්නේ ජාතික රූපවාහිනියේ විකාශනය වුණු ජනප‍්‍රිය කාටූන් වෘත්තාන්තයක්. 1920 දී පමණ මේ කතා පෙළ මුලින් ම නිර්මාණය වන්නේ ඉංගී‍සි බසින්. මෙහි මුල් කතුවරයා වන්නේ හියූ ලොෆ්ටිං ය. වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවකු වූ ඔහුට පළමුවන ලෝක යුද්ධයේදී හමුදා ලුතිනන්වරයකු වශයෙන් යුද්ධය සඳහා යුද පිටියට යන්නට සිදුවුණා. යුද පිටියේ ඒකාකාරී නීරස ජීවිතය මඟහැර ගන්නටත්, ගෙදර දමා ගිය සිය දරුවන් පිනවීමටත් ඔහු ලියූ ලියුම් මෙම නිර්මාණවලට මුල් වුණා. ඔහු සිය ලියුම් මගින් දොස්තර ඩූ ලිට්ල් නම් අපූරු චරිතයක් නිර්මාණය කළා. ඩූ ලිට්ල් දොස්තර කෙනෙකු වශයෙන් මෙන්ම මිනිසකු වශයෙන් ද අපූරු චරිතයක්. දොස්තර ඩූ ලිට්ල් මිනිසුන්ට මෙන්ම සතුන්ටත් ගහකොළටත් මහත් සේ ආදරය කළ කරුණාභරිත හදවතකින් යුත් පුද්ගලයෙක් වුණා. හියූ ලොෆ්ටිං නිර්මාණය කළ මේ අපූරු මිනිස් හා සත්ව චරිත ඇතුළත් කතා ද ඔහු විසින් අඳින ලද චිත‍්‍ර ද එක්කර ඔහුගේ දරුවන් විසින් කතා පොත් වශයෙන් ප‍්‍රකාශයට පත් කරනු ලැබුවා.මෙලෙස ලොව පුරා වෙසෙන පාඨකයන් හා විචාරකයන් විසින් ශතවර්ෂයකට ආසන්න කාලයක් තිස්සෙ කියවා රසවින්දා වූ ලොෆ්ටිං ගේ දොස්තර ඩූ ලිට්ල් හෙවත් හිත හොඳ දොස්තරගේ නිර්මාණ ඇතුළත් කතා පොත් පාදක කර ගනිමින් නිෂ්පාදනය කළ සජීවී චරිත ඇතුළත් චිත‍්‍රපට මෙන්ම කාටූන් චිත‍්‍රපට ද ගණනාවක් තිබෙනවා.

වලස් මාමා
       වලස් මාමා කාටූනය නිර්මාණය වන්න  Walter Lantz Studios විසින් නිෂ්පාදනය කරන ලැබූ THE BEARY FAMILYනම් කෙටි කථාංග 28 කින් සමන්විත හාස්‍යොත්පාදක කාටුන් මාලාව පාදක කරගෙන යි.  THE BEARY FAMILY නම් කාටුන් මාලාව 1962 වර්ෂයේ සිට 1972 දක්වා ඇමරිකාවේ දී තිරගත වුණා.
        නිතර ම ජරමරවලට ලක් වෙන පවුලක ගෘහ මූලිකයා වන Charlie Beary හෙවත් වලස් මාමා වටා මෙම කාටූනය ගෙත්තම් ව තිබෙනවා. ඔහුගේ බිරිඳ වන්නේ Bessie. ඒ කියන්නේ වලස් නැන්දා. එයා නිතරම තම සැමියාගේ මෝඩ වැඩ විවේචනයට ලක් කරනවා. වලස් පවුලේ පුතා Junior හෙමත් නැත්තන් උක්කුංගේ පණ්ඩිත වැඩ නිසා පවුලේ දෙගුණ තෙගුණ වෙනවා

පිස්සු පූසා
      බ්‍රිතාන්‍යයේ BBC නාලිකාවේ මෙම කාටූනය හැඳින්වුණේ Boss Cat ලෙසයි. මෙය Hanna-Barbera studios හි නිෂ්පාදනයක්. ABC network නාලිකාවේ Top Cat හෙවත් පිස්සු පූසා කථාංග 30කින් සමන්විත කාටුන් මාලවක් ලෙස 1961 වර්ෂයේ සිට 1962 දක්වා කාලය තුල තිරගත වුණා. නිව්යොක් නගරයේ මුඩුක්කුවක ජීවත් වන පූස් කණ්ඩායමක ලොක්කා විදිහට තමා  පිස්සු පූසා කරලියට පැමිණෙන්නේ. ඔහුට ම නොදෙවෙනි ඥාව්වා, උපාසක, මී කතුරා සහ පුරු පුරූ යන පූස් සගයන් පිරිසකුත් පිස්සු පූසට ඉන්නවා. කාටූනයේ තවත් එක් ප්‍රධාන චරිතයක් තමා සාජන් මහත්තයා (Officer Dibble). සාජන් මහත්තයා ටිකක් සැර පරුෂ ගතියක් පෙන්නුවට, තමන්ට ඕනේ විදිහට සාජන් සෑර්ව නම්මවල රවට්ටන්න පිස්සු පූසගේ කපටිකම්වලට පුලුවන්.

ටිං ටිං 
       
          කුතුහලයත්, සංත‍්‍රාසයත්, උපහාසයත්, ප‍්‍රහසනයත් එකට මුසු කොට නිර්මාණය කරන ලද ලෝ පතළ කාටූනටක් තමා ටිං ටිං ගේ වීර චාරිකා කියන්නේ.
         ටිං ටිං මුලින්ම රසිකයන් අතරට යන්නේ පුවත්පත්වල කාටූන් තීරුවක් ලෙසයි. ලොව බිහිවූ අති දක්ෂ කාටූන් ශිල්පියකු වූ බෙල්ජියානු ජාතික ජෝර්ජස් රෙමී විසින් තමා ටිං ටිං චරිතය නිර්මාණය කරන්නේ. ඔහු ගේ මුල්ම ටිං ටිං කතා පෙළ එක රැයෙන්ම ජනප‍්‍රිය වුණා. නූලෙන් බේරීම, වේගවත්ව ධාවනය වන කාර්, දුම්රිය, බෝට්ටු හා ගුවන් යානා ඇතුළත් සංත‍්‍රාසය, කුතුහලය හාස්‍යය දනවන සිදුවීම් වලින් ගහන අවස්ථා රැගත් ඒ චිත‍්‍රකතා තරුණ පාඨකයන්ට එතෙක් නොලත් අත්දැකීමක් වුණා. ඒ නිසාම ඒවා කාගේත් ප‍්‍රසාදයට ලක්වුණා.
      ඔහුගේ සදා හිතවත් ෆොක්ස් ටෙරියර් වර්ගයේ බලු සුරතලා ස්නෝවිත්, ටිංටිංගේ අඹ යහළුවා වන කපිතාන් හැඩොක් වගේම නිතර අමතක වන බිහිරි මහාචාර්යවරයා කැල්කියුලස් ටිංටිං කාටුනයේ අමතක නොවන චරිතයි. ටිං ටිං ගේ ජනප‍්‍රිය භාවය රැඳී ඇත්තේ ඔහු හා එකට ගලපා ඇති සෙසු  චරිතත් සමගයි. මේවායේ එන කුඩා චරිතයක් වුවද අමතක නොවන ආකාරයෙන් ඉදිරිපත්කරන්නට ජෝර්ජස් රෙමී වග බලා ගෙන තියෙනවා
           ටිං ටිං ගේ වික‍්‍රම ඇතුළත් පොත් ගණන 25 කට අධිකයි. දැනටමත් එය භාෂා 32 කට පරිවර්තනය වී තිබෙනවා. පොත් වලට අමතරව වෘතාන්ත චිත‍්‍රපට හතරක්ද නිපදවා තිබෙනවා.


කූඹිච්චි
          Ondrej Sekora කතුවරියගේ ළමා පින්තූර පොත් ඇසුරෙන්චෙක් ජනරජයේ සහ බ්‍රිතාන්‍යයේ සමූහ නිෂ්පාදනයක් ලෙස නිර්මාණය කරන ලද FERDY THE ANT යන කාටුන් මාලාව 1984 දී තිරගත වීම ඇරඹුණා. මෙම කාටූනය මීට වසර කිහිපයකට ඉහතදී ජාතික රූපවාහිණියෙන් කූඹිච්චි ලෙස සිංහල හඬ කවා තිරගත කළ අතර එහි ප්‍රධාන චරිතය ගැහැණු චරිතයක් ලෙස අනුවර්තණය කර තිබුණා.
    කූඹිච්චි ගිටාර් වාදනය කිරීමට කැමතියි. ඒ වගේ ම යා ලෝකයේ අරුම පුදුම දේවල් පිළිබඳ දැන ගැනීමට උනන්දු කූඹියෙක්. මෙයා කැලේ ප්‍රශ්න විසඳන්නේ ගමේ අනෙක් කෘමි යාළුවන්ගේ සහය සහ එකමුතුකමත් එක්ක. මේ කාටූනය ඉංග්‍රීසිසිංහල, චෙක් යන භාෂා වලට අමතරව ස්පාඤ්ඤහංගේරියානුඅරාබිසහ ජර්මන් වැනි තවත් භාෂා රැසකින් හඬ කවා තිබෙනවා.
 පිංගු
        ත්‍රිමාණ මැටි නිර්මාණ ඇසුරෙන් නිර්මාණය කර ඇති මෙම අපූරු කාටූනය ස්විට්සර්ලන්ත-බ්‍රිතාන්‍ය  අනුග්‍රහයෙන් සිදු කළ ඔට්මාර් ගුට්මාන් ගේ නිෂ්පාදනයක්. ජාතික රූපවාහිනියේ තිරගතවූ  ජපන් NHK ළමා වැඩසටහන් අතරින් PINGU ක්ලේමෝෂන් කාටූනය බෙහෙවින් ජනප්‍රිය වුණා.  1986 සිට 2000 දක්වා තිරගත වූ මෙම කාටූන් මාලාව ජාත්‍යන්තර වශයෙන් සම්මාන වලටද පාත්‍ර වුණා.
       ඇන්ටාටිකාවේ ජීවත් වන පෙන්ගුයින් පවුලක එදිනෙදා ජීවිතයේ සිදුවීම් මෙහි පෙන්නුම් කරනවා. මෙම කාටූනයේ විශේෂත්වයක් වන්නේ අතරින් පතර පෙන්ගුයින් විසින් මුමුණන විවිධාකාර ශබ්ධ හැරුණු කොට කිසිදු දෙබසක් නොතිබීමයි. පිංගු නම් දඟකාර පෙන්ගුයින් පැටියා කතාවේ ප්‍රධාන චරිතට පොවයි.  පිංගු ගේ වික්‍රමයන් වලට විටෙක ඔහුගේ කුඩා සොයුරිය පිංගා සහ සුරතල් සීල් මත්ස්‍යයාද සම්බන්ධ වනවා.

ෆ්‍රැන්ක්ලීන්
             ෆ්‍රැන්ක්ලීන් කාටූනය, කැනේඩියානු නිෂ්පාදනයක්. මෙහි මුල් නිර්මාණය බ්‍රෙන්ඩා ක්ලාක් සහ පොලෙත් බූජුවා විසින් රචිත පොත් පෙළක් පදනම් වී තියනවා . මෙහි මුල් කථාංගය තිරගතවන්නේ 1997 වර්ෂයේ දී යි.
    ෆ්‍රැන්ක්ලීන් ඉස්කෝලේ වැඩවලට දක්ෂයි වගේම ගෙදර වැඩ කරන්නත් දක්ෂයි. එයාට පුළුවන් එයාගෙම කෑම වේලක් උනත් හදාගන්න. කාමරේ අස්කරන්නත් පුළුවන්….” මුල් නිර්මාණයේ කාටුන් එක පටන් ගන්නේ Franklin could count by twos and tie his shoes. He could zip zippers and button buttons… යන තේමා විස්තරයෙන්.
        මේ කාටූන් වලට අමතරව ඔබත් ඉස්සර ආසාවෙන් බලපු කාටූන් වැඩසටහන් තවත් ඇති. ළමා කාලේ ගෙවිය ගියත් ඉහතින් දැක් වූ කාටූන් මෙන් ම  සූර පප්පා,ඟුරුපාන් මල්ලියා, පැංචා, ස්කුබී ඩූ, ගිරිපුර ඇත්තෝ, හා හා හරි හාවා,  කවුද බෝයි, ඥාන කතා මල්ලියා වගේ කාටූන් චරිත පිළිබ අපගේ මතකයන් කවදාවත් අඩුවෙන්නේ නෑ. ඒ තරමට ම ඒ කාටූන් නිර්මාණ හරිම සුන්දරයි.

Monday, June 5, 2017

මරණයේ අභියස සිට.....



                  සිහින් අව් කැරැල්ලක් මගේ ගත සිප ගන්නවා. හිරු මට ආදරේ උනාට, මං හිරුට ආදරේ උනාට, එයා මං වෙනුවෙන් පරිත්‍යාග ගනනාවක් කරාට තව කී සවසක් අපට අප වෙනුවෙන් ජීවත් වෙන්න පුළුවන් වෙයිද කියලා මටවත් හිතාගන්න බෑ. හිරුටත් ඒක දැනෙනවා ඇති...
             අප කී දාහක් දෙනා මේ කැලය පුරා තැනින් තැන යෝධයින් වගේ නැගී සිටියා ද? ඒත් අද ඉතිරි කී දෙනාද? අම්මලා තාත්තලා ඉදිරියේ ම හේන් වගාවට දරුවන් මරා දාලා පුච්චනවා, දරුවන් ඉදිරියේ ම අම්මලා තාත්තලා දිහා මහ අසංවර ව බලලා කට කොනකින් හිනා වෙලා ඔවුන්ගේ ඇඟට නිය පිටින් තට්ටු කරලා යනවා. පස්සේ දවසක ඇවිල්ලා ඔවුන් ව කපලා වාහනයක පටවාගෙන යනවා. මේවා කරන්නෙත් දෙමව්පියන්ගෙන් ම මෙලාෙවට බිහිවුණු අයම නේද කියලා හිතෙනවා. ඔවුන් හරියට රොබෝවරු වගේ. කිසි ම හිතක් පපුවක් නැහැ.. ලතෙත් ගතියක් නැහැ.. දරුවො ඉදිරියේ දෙමව්පියන්ටත් දෙමව්පියො ඉදිරියේ දරුවන්ටත් හිරිහැර කරලා මරා දානවා.
         ඇයි නපුරු මිනිසුනේ නුඹලා මේවා කරන්නේ? හෙට දිනෙක නුඹලාට වැසි නැති වේවි.. හුස්ම ගන්නට
අවැසි ඔක්සිජන් නැතිවේවි... ගංගා, ඇළදොළ, ලිං, උල්පත් සිඳී යාවි. දෙමව්පියන් වැනි මහ යෝධයින් කපලා ඔප දාලා සාලෙ මැද්දෙ කවිච්චියක් තියාගෙන ඒක හැමෝට ම උජාරුවෙන් පෙන්නුවට කවදාහරි දවසක ජීවත් වෙන්නට අවැසි මූලික පහසුකම්වත්, ඔක්සිජන්, ජලය ආදියවත් නැතිව ඔය කවිච්චිය මත ම ඔබට මියැදෙන්නට වන දිනය වැඩි ඈතක නොවෙයි.
        අපේ ම සොයුරු සොයුරියන් අමනුෂ්‍ය පොරෝ පහරින් වේදනාවට පත් වී වේදනාවෙන් හඬා වැටෙමින් මේ මහ පොළව සිප ගන්නවා පෙනෙනවා. අපේ හිත්වලින් නැගෙන වේදනාව, අපේ මුවින් නැගෙන සුසම් කෙදිනක හෝ ඔබට සාපයක් වේවි. ඒ සාපය ඔබේ පසුපස්සෙන් පන්නාවි. අපේම සොයුරු සොයුරියන්ගේ අතු පතර සෙවන ලබමින් ඔවුන්ව ම කපා බිම හෙළන රුදුරු විස සපුන් බඳු මිනිසුනේ ඔබට යන්නට වෙනත් නිරයක් නිර්මාණය නොවනු ඇත. ඔබ යා යුතු නිරය, මේ මිහිපිට ම  ඔබේ ම දෑතින් නිර්මාණය කරන අයුරු වසර ගණනාවක් මම බලා සිටියෙමි. තවත් වසර කීයක් මෙම පාපකාරී දර්ශනය බලා ඉන්නට තරම් මං අවාසනාවන්ත ද කියලා මට වැටහෙන්නේ නැහැ.
                                                                      මට හිතෙන්නේ අපව මරා දාලා නුඹලා සුවපහසු ජීවිතයකට අවශ්‍ය භාණ්ඩ හදනවා වගේ. අවසන් ගමනට යෑමට අවශ්‍ය මිනී පෙට්ටියත් ඔබ අපෙන්ම නිමකර ගත්තානම් හොඳයි. එවිට අප අකාලයේ අවසන් ගමන් ගියත් අපට සැනසෙන්නට හැකියි. මක් නිසාද යත්, එහි නිදන්නේ ඔබ නොවන බවත්‚ ලක් බිමට පමණක් උරුම අපේ වටිනාකම තේරුම් නොගත් මනුෂ්‍යයන් ලෙස හඳුන්වන නොමිනිසුන් පිරිසක් ම පමණක් බවත් අපට තේරුම් ගත හැකි වේවි.

                                                         
                                                                                              මම
                                                                                ඩයොස්පයිරස් එබෙනුම්
                                                                                     ( කළුවර ගස )